වෙබ් ලිපිනය:

Monday, May 14, 2018

ඇමරිකානුවෝ සිංහ කොඩියක් පුච්චා දමති!


ජාතික කොඩියකින් කිසියම් ජාතියක් සංකේතවත් වේ. ජාතික කොඩිය කියා කියන විට ජාතියක් ලෙස හැඳින්වෙන්නේ කිසියම් රටක පුරවැසියන් වන සියලු දෙනාවමය.

සිංහ කොඩිය ලෙස හැඳින්වෙන ලංකාවේ ජාතික කොඩිය දුඹුරු පසුබිමක ඇති කඩුවක් අතින් ගත් සිංහයෙකුගේ රුවකින් හා බෝ කොළ හතරකින්ද, කොළ හා තැඹිලි පැහැ තීරු දෙකකින්ද, මේ කොටස් දෙක වටේට දිවෙන කහ පැහැ තීරු වලින්ද සමන්විතය. ඒ සංකේත වලින් නියෝජනය වන්නේ මොනවාද කියා මෙය කියවන සියල්ලෝම දනිති.

ඇමරිකා එක්සත් ජනපදය බිහි කිරීම සඳහා එක්සත් වුනු මුල් ජනපද 13 නියෝජනය කරන රතු හා සුදු තීරු 13කින් හා වත්මන් ප්‍රාන්ත 50 නියෝජනය කරන නිල් පසු බිමක පිහිටි තාරකා 50කින් වත්මන් ඇමරිකන් ජාතික කොඩිය සමන්විතය. මුල්ම ඇමරිකන් ජාතික කොඩියේ තිබුණේ තාරකා 13ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදයට අලුත් ප්‍රාන්ත එකින් එක එකතු වී විශාල වෙද්දී එයට අනුරූපව කොඩියට අලුතින් තාරකා එකින් එක එකතු වී මේ වන විට එහි තාරකා ගණන 50 දක්වා වැඩි වී තිබේ. එහෙත්, ආරම්භයේදී ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ ජනපද 13ක් එක්සත් වීමෙන් නිසා තරු වැඩි වුනත්, කොඩියේ තීරු ගණන තවමත් 13ක් ලෙස නොවෙනස්ව තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ එහි වූ සංක්‍රමනිකයන්ගේ ජනපද 13ක් එක්සත් වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ සටන් කර නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම මඟින් මිස එවකට තිබුණු ස්වාධීන රාජ්‍ය 13ක් එක්සත් වීමෙන් නොවේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට හඳුන්වන "United States of America" යන වචනය අනුව යමින් විමසිල්ලකින් තොරව අමු අමුවේ "ඇමරිකා එක්සත් රාජ්‍ය" ලෙස සිංහලට පරිවර්තනය නොකර එම රට හැදුනු ඓතිහාසික පසුබිම සමඟ මනාව ගැලපෙන පරිදි, "ඇමරිකා එක්සත් ජනපදය" ලෙස සිංහලෙන් හැඳින්වීමට එම වචනය මුලින්ම භාවිතා කළ කවුරු හෝ පුද්ගලයා නිර්මාණශීලී වී තිබේ.

රටක ජාතික කොඩියෙන් සංකේතවත් වන්නේ ඒ රටේ ජනතාව නිසා ජාතික කොඩියකට නිසි ගෞරවය නොලැබේනම්, ඒ රටේ ජනතාවටද සිදුවන්නේ නිග්‍රහයකි. ඇමරිකන් කොඩියට නිසි ගෞරවය ලැබෙන බව තහවුරු කිරීම පිණිස ධජ ආචාර ධර්ම පද්ධතියක් (Flag Code) තිබේ. ජාතික කොඩියට අගෞරව නොවන පරිදි එය භාවිතා කළ යුතු ආකාරයන් මෙහි විස්තර කර තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකන් ජාතික කොඩියක් ඔසොවා ඇති විට එය ඊට පහළින් ඇති වෙනත් දෙයක ස්පර්ශ නොවිය යුතු අතර කිසිදු පුද්ගලයෙකු ඉදිරියේ ජාතික කොඩිය පහත් නොකළ යුතුය.

ඉහත කී ධජ ආචාර ධර්ම පද්ධතිය බිහි වුනු පසුබිමක් තිබේ. ලන්ඩන්හිදී පැවැත්වුණු 1908 ඔලිම්පික් තරඟයේ ආරම්භක උත්සවයේදී එක් එක් රටෙන් පැමිණි කණ්ඩායම් එහි ප්‍රධාන අමුත්තා වූ හතරවන එඩ්වඩ් රජු ඉදිරියෙන් යද්දී සිය ජාතික කොඩිය රජු වෙත ඇල කර රජුට ගෞරව දක්වා ඇතත් ඇමරිකාව නියෝජනය කරමින් ධජය රැගෙන ගිය ක්‍රීඩකයා මේ චාරිත්‍රය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හරහා මතු වුනු කතිකාව එම පසුබිමයි.

මේ අයුරින් ගෞරව ලබන ඇමරිකන් කොඩියක් වුවද කලක් යද්දී අනෙක් සියලු දේ මෙන්ම පරණ වී, දුර්වර්ණ වී, ඉරී ගොස් තවදුරටත් රටේ ප්‍රෞඪත්වය නොපෙන්වන තත්ත්වයට පත් වන බව කිව යුතු නොවේ. එය සෑම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවයයි. ඇමරිකානු ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව එවැනි නිසි ප්‍රමිතියෙහි නොමැති ජාතික කොඩි ඉවත් කර ඒ වෙනුවට අලුත් කොඩියක් භාවිතා කළ යුතුය. එවිට පැරණි කොඩියට සිදුවන්නේ කුමක්ද?

ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව කාලයක් රටට සේවය කළ ජාතික කොඩියකට ගෞරවාන්විත අවසානයක්ද හිමි විය යුතුය. පරණ ජාතික කොඩි වල කොටස් කුණු බක්කි වලට යන්නේනම් එයට ඒ ගෞරවය නොලැබේ. ඒ නිසා, තවදුරටත් භාවිතයට නුසුදුසු, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි ගෞරවාන්විතව විශ්‍රාම ගැන්විය යුතුය.

මෙය කළ හැකි වඩාත් උචිතම ආකාරය ලෙස සැලකෙන්නේ එවැනි කොඩියක් ආදාහනය කිරීමයි. මෙය ඉතිහාසය පුරා මළවුන්ට ගෞරව දැක්වීම සඳහාද භාවිතා කළ ක්‍රමයකි. ඇමරිකන් ලේජන් වැනි ඇමරිකානු වෙතරානුවන්ගේ සංවිධාන හා බාලදක්ෂ බාලදක්ෂිකා සංවිධාන ආදිය වාර්ෂිකව මෙවැනි කොඩි විශ්‍රාම ගැන්වීමේ උත්සව පවත්වා ගෞරවාචාර මධ්‍යයේ, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි පුළුස්සා දමයි.

පහත වීඩියෝවේ තිබෙන්නේ එවැනි අවස්ථාවකි. මෙහි විශේෂත්වය වන්නේ සුළු ජාතිකයින් නියෝජනය කරන තීරු ගැලවී, දුර්වර්ණ වී, තවදුරටත් ජාතික අභිමානය නොපෙන්වන පරිදි විකෘති වී ඇති ලංකාවේ ජාතික කොඩියක්ද කුණු බක්කියකට නොදමා, තමන්ගේ රටේ ජාතික කොඩියට ලබා දෙන ගෞරවයම ලබා දෙමින් නිසි පරිදි විශ්‍රාම ගැන්වීමට මේ ඇමරිකානුවන් පිරිස කටයුතු කිරීමයි.


වෙනත් බොහෝ තැන් වල ධජ විශ්‍රාම ගැන්වීමේ උත්සව මීට වඩා විචිත්‍ර ලෙස සිදු කෙරෙන අතර එවැනි උත්සව වල වීඩියෝ විශාල ප්‍රමාණයක් යූටියුබ්හි තිබේ.


7 comments:

  1. ඉකෝන්ගෙ ටයිටලුත් දැන් ගොසිප්ලංකා ටයිටල් වගේ වෙලා :)

    ReplyDelete
  2. ඇමරිකානුවෝ සිංහ කොඩියක් පුච්චා දමමින් සැලියුට් ගසති.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    මෙම භාවිතයෙන් ඉවත්කරන ධජ වලට සැබෑවටම කරන්නේ කුමක්දැයි දැන්ගත්තේ මේ ඔබේ පොස්ට් එකෙන්, ඔබට බොහෝ ස්තූතියි. කෙසේ නමුත් ඔබ මෙහි දේශපාලනය, විශේෂයෙන්ම සිංහල ජාතිවාදී දේශපාලනයේ ටොපික් එකක් - ජාතික ධජය - ගැන කියා ඇති නිසා වත්මන් ලාංකීය දේශපාලනය ගැන අදහසක් දක්වන්නම්, මා මේ කරුණු වෙනත් දේශපාලන බ්ලොග් වලත් කමෙන්ට් එකක් ලෙස දැමූ අතර ඔබ අකමැති නැතැයි සිතමින් මෙහිද දමන්නම්. ඔබ එජාපය සහ ලංකාවේ ඡන්දදායකකයින්ගේ හැසිරීම ගැන පුරෝකථනය කළ ලෙසම මගේ අදහසත් දක්වන්නම්, ඔබේ විරුද්ධත්වයක් නැතිනම්.

    දැනට පවතින තත්වය අනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡන්ද පදනම අතිවිශාල ලෙස ඛාදනයකට ලක්ව තිබෙයි. ජනපති සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සහ සහ සමඟ සිටින හතලිස් ගණනාවක් වන ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ ඡන්ද පදනම ද කුජීත ලෙස සේදී ගොස් තිබේ.

    ජනාධිපති ධූරයට පත්වූ සිරිසේන සිය ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ 2018 පෙබ 10 පලාත් පාලන මැතිවරණයෙන් ප්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික්‍රමසිංහගේ එජාපය පරාජය වීමයි.

    තවත් කැපී පෙනෙන ළකුනක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය 2018 පෙබරවාරි 10දා රාජපක්ෂට (පොහොට්ටු කල්ලියට) ඡන්දය දීමයි. ඉන් අතිබහුතරය 2015 රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ජන්ද යැයි සැළකීමේ වරදක් නැත.

    2015දි රාජපක්ෂ විරෝධී ජන බලවේග සතුව තිබූ දැඩි දූෂණ විරෝධී සටන් පාඨ මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.

    2015 බලයට පැමිණි වහාම ජනපති සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප්‍රධානය කළේය. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන ශ්‍රීලන්කන් එයාලයින්ස් සභාපති බවට පත් කළේය.

    විදෙස් තානාපති සේවය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වලපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප්‍රකෝටි ගණන් වටිනා සංඛාත ලබා දුන්නේ සිරිසේනය. දැන් එම නාලිකා රෙදි නැතිව වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි. සියල්ලටමත් වඩා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපාලන වගකිව යුත්තා බවට අගමැති වික්‍රමසිංහ පත්විය. අගමැති වික්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 25 - 30 බැගින් දැන් දෙවසරකටවක් වඩා ප්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික්‍රමසිංහගේ ගැටයකි.

    මේ ලැයිස්තුව දිගය. දූෂණය නැති කොට දූෂකයින්ට නිසි දඩවම් ලබා දෙන බවට ශපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන් රාජපක්ෂ කල්ලිය කුජීත ලෙස පරදවමින් ඊටත් වඩා අතිශය බරපතල ලෙස දූෂණ අඩිපාරෙහිම වඩා වැඩියෙන් ගමන් කිරීමය. හිටපු දූෂකයින් සමඟ ඩීල් ගනුදෙනුවලට යෑමත් ඔවුන් වසර 10කින් තැබූ රෙකෝඩ් වසරකින් දෙකකින් කුඩු කිරීමත්ය. එබැවින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලැජ්ජා බය ඇති ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?

    ReplyDelete
    Replies
    1. එබැවින් මෙම තත්වය ලංකාව තුළ දිගින් දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. එකල ජර්මනියේ ආඩල්ෆ් හියුඩ්ට්ලර් බලයට ගෙන එන ලද්දේ ද මෑතදී පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන රොබෙර්තෝ දු'තර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ඨ සහ මර්දනකාරී දේශපාලනයන් ජය ගනී. සමහර විට දැන් ශ්‍රී ලංකාව ගමන්කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.

      මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය 2015 -2018 තෙවසර විසින් අපට දැඩි ලෙස පෙන්වා ඇති නිසාය.

      2018 කොළඹ මහනගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරඟ කළ තරුණ දේශපාලනඥයකු ප්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඩළිමට ගෝඨා භය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨා භයගේ මේ කුඩු විරෝධී සටන නිරායුද තරුණයන් ඝාතන කර අතර වැලිකඩ ඝාතනද එහිම දිගුවක් නමුත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නො වූ බව නො දන්නේ කව්ද? එසේ තිබියදිත් ගෝඨාභය අනුගමනය කරන බවට ශපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප්‍රකාශයෙන් සංකේතවත් කරන්නේ භීෂණයේ සංස්කෘතිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.

      දූෂණ පිටු දැකීම සිය දේශපාලනයේ ප්‍රමුඛ පරමාර්ථය බවට පසුගිය 2018 මැතිවරණ වේදිකා වන්හි දී පාරම් බෑ ජනපති සිරිසේන පාර්ශවය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කරුණේ ද එදා පෙන්වූ ව්‍යාජ දූෂණ විරෝධය දේශපාලන බල තන්හාවට යටවී තිබූ අන්දමයි. රනිල් වික්‍රමසිංහ සිය අගමැතිකම රැකගැනීම පිනිස ඔහුම බොරු කයිවාරු ගැසූ ලිච්ඡවී සම්මුති දේශපාලනය ඇපයට තැබීම ද පෙන්නුම් කරන්නේ ඔහුගේ සැබෑ නිරුවත වූ සියල්ලටම පෙර මමය යන උග්‍ර බල තණ්හාවේ දේශපාලනයයි. වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධාර කපා හැරීම/ පාසැල් නිල ඇඳුම්/ පෙළ පොත් නොදීම වැනි සහන කප්පාදුද රාජපක්ෂගේ වාසියට තිබුණි.

      ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටු වීමට ඉඩක් ඇතැයි සිතීම අතිශය දුෂ්කර ය, මන්ද යත් දෙපාර්ශවයම විවිධ මට්ටමින් රාජපක්ෂ කල්ලිය පවා යොදුන් ගණනින් පරදවා අතිශයින් දූෂිත අශීලාචාර කුජීත තැනක් කරා ඇදී ගොස් තවත් එම අන්තයටම උග්‍ර ලෙස ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමැති සහ වික්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි. සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධූරයෙන් ඉවත් කරන ලද්දේ ජිනිවා මානව හිමිකම් කොමිසමෙ දී මානව හිමිකම්, සංහිදියාව සහ වගවිම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.

      ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ දේශපාලකයින්ට වැඩි දේශපාලන වරප්‍රසාද/ වරදාන සහ ඉඩම්/ පොලිස්/ මූල්‍ය බලතල ලබාදෙන දේශපාලන විසදුමක් ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ.

      Delete
    2. වත්මන් අන්ත දූෂිත අශීලාචාර යහපාලන රෙජීමය යටතේ පසුගිය තෙවසරෙහි නො කරන ලද දේශපාලන ව්‍යාපාරයක් ඉදිරි මාස 18 තුළ ආණ්ඩුව මෙතින් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි යන්න අපගේ අචල විශ්වාසයයි.

      මේ නිසා ඉදිරි දින කිහිපය වන විට යහපාලන ආණ්ඩුව ඉදිරි වසර එකහමාරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වි හමාර වන්නට පවා හැකි අතර එය තව දුරට පැවතියත් පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට කරවල් උල්කරගත් කුරිරු ගොර සර්පයින් දෙ දෙනෙකු ලෙසය. හරය අතින් නම් දැන් යහපාලන රෙජීමය අවසාන වී බොහෝ කල්ය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර නාමික ස්වරූපයක් ලෙස පමණකි.

      ජනාධිපතිවරණයකදී රාජපක්ෂ කල්ලිය මගින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් ටිකක් අසීරු නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය (හෝ ඉදිරි පළාත් සභා ජය ) මගින් ඇති කරනු ලබන ගැම්ම සහ රැල්ල වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිහාවට ද යන්න අනුව මෙන්ම ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ විරසක වී රුපුන් මෙන් ගැටුම් උත්සන්න කරගතහොත් නිසැක වාසිය රාජපක්ෂ කල්ලියටය. එසේ නොවී ලිච්ඡවී සම්මුති යහපාලන හමුල් ආණ්ඩුව නව දැක්මක් යටතේ අලුත් ජවයක් ලබා ගන්නේ නම් එහි අචාසිය බලගතු වෙමින් සිටින රාජපක්ෂ කල්ලියටය.

      අප කැමැති වුවත් නැතත් පාර වැටි ඇත්තේ සම්මුතිය දෙසට නොවේ. අගමැති වික්‍රමසිංහ එදා 2004 දී කළාක් මෙන් තම දේශපාලන බලසම්පන්න භාවය ගැන අධි තක්සේරුවකින් ඉතා උද්ධච්ච ලෙස කිසිවකුටත් කන් නොදී වලව්වේ හාමු මානසිකත්වයෙන් කටයුතු කරන අතර ජනපති සිරිසේන කිසිම ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා මොකක් හෝ තේරුමක් නැති ජවුසමක් නටමින් එදාවේල ටයිප් දේශපාලනයක නිරතව සිටි.

      දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හැකි නරකම තත්ත්වයන්ට සූදානම් විම ක්ෂණිකව සිදුකළ යුතුය. අද අපට බලගතු චිත්තාකර්ෂණීය නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත නායක භික්ෂුවක් නැත. 2015 ජනවාරි මසදී ජනහද බැන්දූ බලගතු සාධාරණ සමාජයක් සඳහා වූ ප්‍රබල ව්‍යාපාරයක් ද කොහේවත් නැත.

      එජාප පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවට දෙවෙනි ස්තරයෙහි දැකියහැකි නායකයින් දෙදෙනාම එනම් විසුළු සහගත මහල්ලකු වන කරු ජයසූරිය සහ උඩඟු බකපණ්ඩිතයකු වන සජිත් ප්‍රේමදාස සිංහල ජාතිකවාදී නැමුරුවකින් යුතු වුවත් ජාතික නායකත්වයට කිසි හැකියාවක් නැති අදක්ෂයින්ය.

      අනෙක් අතට දෙමළ සමාජයද ඔවුන්ට කිසි වැඩක් නොකරමින් මහජන මුදල් කබාසිනියා කරමින් පුද්ගලික වරප්‍රසාද වරදාන විඳිමින් ආණ්ඩුව සමඟ දීගයක සිටින දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද නව දෙමළ ජාතිවාදි බෙදුම්වාදී බලවේග ශක්තිමත් වී තිබේ.

      එසේ නමුත් කළුවලාකුළු තුළ රිදී රේඛා ද නැගෙනු ඇත. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේද යන්න ඔබ විසින් ලියන මීළඟ පෝස්ට් එකෙන් හෝ වෙනත් ඉදිරි පෝස්ටුවකින් අපි සංවාදයට බඳුන් කරමු. ඔබ ඊට එකඟද?

      Delete
    3. ඇනෝ, ඔබේ දීර්ඝ කමෙන්ටුව කියෙවුවා. ඔබ ලියා ඇති බොහෝ දේ වලට අඩු වැඩි වශයෙන් එකඟ වෙන්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනය ගැන විශ්ලේෂනාත්මක ලෙස කතා කර ඇතත් ඒ සීමාවෙන් එහාට මම මේ බ්ලොග් එකේ කතා කර ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා දැනටනම් ඔබ කියන "රිදී රේඛා බලවත් කරන්නේ කෙසේද?" කියන එක ගැන කතා කරන්න මගේ අදහසක් නැහැ. අවංකවම මට එවැනි නිශ්චිත අදහසකුත් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: