වෙබ් ලිපිනය:

Tuesday, December 26, 2017

සෑම් වෝල්ටන්ගේ නිධානය


ෆෝර්බ්ස් ඇස්තමේන්තු අනුව ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සැලකෙන වෝල්ටන් පවුල පිළිබඳව පෙර ලිපියකින් අපි කතා කළෙමු. ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි, වෝල්ටන් පවුලේ සාමාජික සාමාජිකාවන් හත් දෙනෙකුගේ වත්කම් මේ තරම් ඉහළ යන්නට අදාළ සාමාජික සාමාජිකාවන්ගෙන් ලැබුණු දායකත්වය නොසලකා හැරිය නොහැකි වුවත් ඔවුන් අද වන විට මේ තරම් ධනවතුන්ව සිටින්නේ මුළුමනින්ම ඔවුන්ගේ උත්සාහය නිසාම නොවේ. උපතින්ම ඔවුන්ට හිමි වූ වත්කම්ද නිසාය. ඒ වත්කම් යනු මූලික වශයෙන්ම වෝල්මාර්ට් සමාගමේ කොටස් හිමිකම්ය.

මෙය ලියන මොහොත වන විට වෝල්මාර්ට් සමාගමේ කොටසක මිල ඇමරිකන් ඩොලර් 99.13ක් වන අතර එම සමාගම විසින් නිකුත් කර ඇති කොටස් සියල්ලේම වෙළඳපොළ වටිනාකම හෙවත් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 293.66කි. මේ කොටස් වලින් අඩකට වඩා තවමත් ඇත්තේ වෝල්මාර්ට් පවුල සතුවය.

වෙනත් බොහෝ දැවැන්ත ව්‍යාපාර මෙන්ම වෝල්මාර්ට් සමාගමද සුළුවෙන් ආරම්භ වූවකි. සිය ජීවිත කාලය තුළදීම වෝල්මාර්ට් සමාගම ඇමරිකාව පුරා ව්‍යාප්ත වූ විශාල සමාගමක් ලෙස දියුණු කළ එහි නිර්මාතෘ සෑම් වෝල්ටන් ඔහුගේ දරු මුණුපුරන් මෙන් ඩොලර් බිලියන ගණනක උරුමයක් අත මිට මොළොවාගෙන උපන් අයෙකු නොවේ. ගොවි පවුලක උපන්, පාසැල් කාලයේ සිට ඉගෙනුමට පමණක් නොව ක්‍රීඩාව ඇතුළු සියලු අංශ වලින් දස්කම් දැක්වූ සෑම් වෝල්ටන් ආර්ථික විද්‍යා ප්‍රථම උපාධියක් දක්වා අධ්‍යාපනයක් ලබා ගත්තේ මල් ඇතිරූ මාවතක ගමන් ගනිමින් නොවේ.

සෑම් වෝල්ටන් විසින් 1962 වසරේදී පළමු වෝල්මාර්ට් වෙළදසැල ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු 44කි. වෙළඳ සේවකයෙකු ලෙස ජීවිතය ආරම්භ කළ සෑම් වෝල්ටන් මේ කටයුත්තට අතගැසුවේ සිල්ලර වෙළඳාම ගැන වසර ගණනාවක පළපුරුද්දක් සහිතවය.

සිල්ලර වෙළඳාම කියන්නේ ඇමරිකාවට අලුත් දෙයක් හෝ සෑම් වෝල්ටන් විසින් අලුතින් සොයාගත් දෙයක් නොවේ. සෑම් වෝල්ටන්ට පෙරත්, ඔහුට පසුවත් බොහෝ සිල්ලර වෙළෙන්දෝ වූහ. එසේනම්, මේ අනෙකුත් සිල්ලර වෙළෙන්දන් අභිබවා සෑම් වෝල්ටන්ගේ වෝල්මාර්ට් ව්‍යාපාරය ඉදිරියට පැමිණියේ කොහොමද?

සෑම් වෝල්ටන්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වූයේ සිල්ලර වෙළඳාමේදී වැදගත්ම කරුණ පාරිභෝගිකයා හැකිතාක් සතුටු කිරීම බව ඔහු විසින් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා කළ යුත්තේ පාරිභෝගිකයාට ඉහළම සේවයක් සපයන අතරම හැකිතාක් අඩු මිලට බඩු විකිණීමයි.

කෙසේ වුවත්, සිල්ලර වෙළෙන්දෙකු යනු වෙනත් අය නිපදවන බඩු අලෙවිකරන අතරමැදියෙකි. ඒ නිසා, සිල්ලර වෙළෙන්දෙකුට භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය අඩු කළ නොහැකිය. ඒ නිසා, බඩු අඩුවට විකිණිය හැක්කේ තමන්ගේ ලාභ ආන්තික අඩු කර ගැනීමෙන් පමණි.

සිල්ලර වෙළෙන්දෙකු විසින් දැරිය යුතු ගොඩනැඟිලි කුලී, සේවක වැටුප් ආදී ස්ථිර පිරිවැය ආවරණය කරගන්නට වෙන්නේ නිෂ්පාදකයාට ගෙවන මිල හා පාරිභෝගිකයාගෙන් අයකරගන්නා මිල අතර වෙනසෙනි. පාරිභෝගිකයාගෙන් අයකරගන්නා මිල පහත හෙළූ විට මේ ස්ථිර පිරිවැය ආවරණය කරගැනීම අපහසු වේ. එහෙත්, සෑම් වෝල්ටන්ගේ අදහස වූයේ ලාභ ආන්තික අඩු කරගෙන අඩු මිලකට බඩු විකිණීමේදී ඉහළ යන ඉල්ලුම නිසා ලාභ ආන්තික අඩු වුවත්, සමස්ත ලාභය වැඩි කර ගත හැකි බවයි.

වෝල්මාර්ට් සමාගමේ වත්මන් සාර්ථකත්වය විසින් පෙන්වන්නේ සෑම් වෝල්ටන්ගේ උපාය මාර්ගයේ සාර්ථකත්වයයි. පසුගිය ජනවාරි 31න් අවසන් වූ මූල්‍ය වසර තුළදී වෝල්මාර්ට් වෙළඳසැල් මඟින් විකුණා තිබුණු භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියන 485.9කි.

ඇමරිකාවේ පාරිභෝගික භාණ්ඩ වල මිල ගණන් වෙනත් බොහෝ සංවර්ධිත රටවලට වඩා අඩු බව බොහෝ දෙනෙකු පිළිගන්නා දෙයකි. මෙසේ අඩු මිලට පාරිභෝගිකයින්ට භාණ්ඩ සැපයීම පිටුපස වෝල්මාර්ට් සමාගමේ කාර්ය භාරය සුළුවෙන් තැකිය නොහැකිය.

වෝල්මාර්ට් සමාගම ආරම්භ කරන විට සෑම් වෝල්ටන්ගේ ඉලක්කය වූයේ අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා අඩු මිලකට තත්ත්වයෙන් හොඳ භාණ්ඩ සැපයීමයි. වෝල්මාර්ට් සමාගමට කවර විවේචන තිබුණත් එම සමාගම විසින් මේ ඉලක්ක දෙකම සපුරාගෙන ඇති බව අතිශයෝක්තියක් නොවේ.

පසුගිය කාලයේදී වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැලක විකිණෙන භාණ්ඩයක් වෙනත් තැනක අඩු මිලට විකුණන්නට ඇත්නම් මිල වෙනස ආපසු ගෙවීමේ ප්‍රතිපත්තියක් වෝල්මාර්ට් ආයතනය අනුගමනය කළේය. මේ අනුව, වෝල්මාර්ට් පාරිභෝගිකයෙකුට කිසියම් වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැලකින් භාණ්ඩ මිල දී ගැනීමෙන් පසු බිල්පතේ ඇති බාර්කෝඩ් අංකය අන්තර්ජාල අඩවියකට ඇතුළු කළ හැකිය. මෙසේ ඇතුළු කිරීමෙන් පසු එම බිල්පතේ ඇති කිසියම් භාණ්ඩයක් අදාළ ප්‍රදේශයේ වෙනත් වෙළඳසැලක වඩා අඩු මිලකට විකුණන්නට ඇති බව වාර්තා වුවහොත් අදාළ මිල වෙනස පාරිභෝගිකයාගේ ගිණුමකට බැර වේ. මෙය දැන් ක්‍රියාත්මක වන්නේ ඇතැම් වෝල්මාර්ට් වෙළඳසැල් වල හා අන්තර්ජාලය හරහා මිලදී ගන්නා බඩු හා අදාළව පමණක් වුවත් තවමත් වෝල්මාර්ට් මිලට වඩා අඩුවට වෙනත් තැනක බඩු විකිණෙන්නේ නැති තරම්ය.

වැඩි ආදායමක් උපයන, හොඳ සන්නාම හොයන පාරිභෝගිකයින් වෝල්මාර්ට් බඩු වලට එතරම් මනාප නැත. එවැනි අයට වැඩි මිලක් ගෙවා තත්ත්වයෙන් වඩා හොඳ බඩු ගන්නට වෙනත් වෙළඳසැල් අති විශාල ගණනක් ඇමරිකාවේ තිබේ. එහෙත්, වෝල්මාර්ට් බඩුද තත්ත්වයෙන් නරක නැත. විශේෂයෙන්ම විකිණෙන මිල සැලකූ විට වෝල්මාර්ට් බඩු වල ගුණාත්මක භාවය ගැන වරදක් කියන්නට නුපුළුවන. යම් හෙයකින් කිසියම් භාණ්ඩයක් වෝල්මාර්ට් වෙළඳසැලකින් මිල දී ගැනීමෙන් පසු පාරිභෝගිකයා අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන සෑහීමකට පත් නොවන්නේනම් පමණක් නොව, මිල දී ගැනීමෙන් පසු භාණ්ඩය අනවශ්‍යයයි සිතුණොත් වුවද එය ආපසු දී මුදල් ආපසු ලබා ගත හැකිය. මේ නිසා, සෑම් වෝල්ටන් විසින් ආරම්භයේදී ඉලක්ක කළ පරිදි, වෝල්මාර්ට් පාරිභෝගිකයෙකු හැම විටම වෙනත් තැන් වලට වඩා අඩු මිලකට භාණ්ඩයක් මිල දී ගන්නා බවත්, එම භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන භාණ්ඩය මිලදී ගැනීමෙන් පසුවද සතුටු වන බවත් සහතික කෙරේ.

වෝල්මාර්ට් සමාගමේ ඉහළ කාර්යක්ෂමතාවය නිසා කිසියම් ප්‍රදේශයක වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැලක් ආරම්භ කිරීමෙන් පසු එම ප්‍රදේශයේ තිබුණු කුඩා සිල්ලර වෙළඳසැල් සියල්ලම වාගේ වැසී යයි. මෙය වෝල්මාර්ට් සමාගමට ඇති චෝදනාවකි. එහෙත්, මෙහිදී වෙන්නේ වෙළඳපොළේ ඇති අකාර්යක්ෂමතාවයන් ඉවත් වී යාමයි.

වෝල්මාර්ට් සමාගමට ඇති තවත් චෝදනාවක් වන්නේ සේවකයින්ට අඩු වැටුප් ගෙවන බවයි. මෙය බොරුවක්ම නොවේ. වෝල්මාර්ට් සේවකයින් බොහෝ දෙනෙකු පැයේ කුලියට සේවය කරන තාවකාලික සේවකයෝය. ඔවුන්ට ලැබෙන්නේ අවම වැටුපට යාන්තමින් වැඩි වැටුපකි. එහෙත්, ඇමරිකාවේ මීට සමාන රැකියා කරන වෙනත් බොහෝ දෙනෙකු ලබන්නේද එවැනිම වැටුපකි.

අපේ නිවස ආසන්නයේ ඇති වෝල්මාර්ට් වෙළඳසැලට ඇතුළු වන විට බොහෝ විට මුලින්ම හමුවන්නේ රෝද පුටුවක සිට පාරිභෝගිකයින්ට සුබ පතන ඇවිදින්නට හෝ නොහැකි ආබාධිත සේවිකාවකි. අනෙකුත් සේවකයින් අතරද අමතර ආදායමක් ලබන්නට හෝ නිකම් ගෙදරට වී සිටින්නට බැරිකමට අර්ධකාලීනව සේවය කරන විශ්‍රාමිකයින් හා වියදමට අමතර මුදලක් හොයාගන්නට අර්ධකාලීන රැකියාවක යෙදෙන පාසැල් සිසුසිසුවියන් සුලභව දැකිය හැකිය. වෝල්මාර්ට් රැකියාව නොලැබුණේනම් මෙවැනි අයට බොහෝ විට රැකියා විරහිතව සිටින්නට වන බව කිව යුතු නැත. ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1%කටම රැකියා සපයන්නේ වෝල්මාර්ට් ආයතනයයි.

වෝල්මාර්ට් සමාගමේ කොටස් හිමි වෝල්ටන් පවුලේ වත්කම් දිනෙන් දිනම ඉහළ යන බව ඇත්තකි. එහෙත්, ඔවුන්ගේ වත්කම් එසේ ඉහළ යන්නේ ඔවුන් වෙනත් අයගේ දෙයක් උදුරා ගන්නා නිසා නොවේ. වෝල්මාර්ට් සමාගම විසින් පාරිභෝගිකයින්ට අඩු මිලට භාණ්ඩ සපයමින්, රැකියා සොයන්නනට රැකියා සපයමින්, නිෂ්පාදකයින්ට ඔවුන්ගේ මිල ගෙවන අතරම වෝල්ටන් පවුල ඇතුළු වෝල්මාර්ට් කොටස් හිමියන්ට ප්‍රමාණවත් ලාභාංශද ගෙවයි.

5 comments:

  1. මම කලිසම් ගන්නේ වෝල්මාර්ට් වලින්

    ReplyDelete
  2. නියම ලිපියක්

    ReplyDelete
  3. ලංකාවෙ කාගිල්ස් සුපර් මාකට්වලත් මේ ලක්ෂණ තියෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: