වෙබ් ලිපිනය:

Friday, June 5, 2015

පවතින ක්‍රමය වෙනස් කිරීමේදී ඇතැම් දේ අහිමි වේ.


ඉකොනොමැට්ටා බොග පටන්ගත්තේ රනිල් අගමැතිකම භාරගත්තාටත් වඩා හදිස්සියෙනි. රනිල්ට අගමැතිකම් කර පළපුරුද්දක් තිබුණාට ඉකොනොමැට්ටාට  බොග දමා පළපුරුද්දක් තිබුණේ නැත. අඩුගානේ සිංහල කොටා පළපුරුද්දක් තිබුනේද නැත. මේ නිසා ඉකොනොමැට්ටාටත් වුනේ පළමුවෙනි වතාවට කැබිනට් ඇමති කමක් භාරගත් සජිත් වාගේ වැඩි කතා නැතුව මේ රස්සාවට අදාළ තාක්ෂණික කරුණු අතපත ගා ඉගෙන ගන්නටය. මෙසේ කිරීමේදී ව්‍යවස්ථා සංශෝධන කීයක් ඉබේ පාස් වුනාද කියා දිමුට තරමවත් අවබෝධයක් ඉකොනොමැට්ටාට නැත. ඒ නිසා නිකමට වාගේ දහඅටක් ලකුණුකර අද සිදුකළ දහනමවැනි සංශෝධනය ගැන කතා කරමු.


දහනමවැනි සංශෝධනය අමාරුවෙන් සම්මත කර දැමීමට විධායක ඒකාධිපති ඉකොනොමැට්ටාට හිතුනේ ජනතා ඉල්ලීම් සලකමින්ය. ජනතාව කිවුවට සූ ගාලා දෙන්නෙකි. රසිකොලොජිස්ට් සහ අටම්පහුරයි. මේ ජනතා ඉල්ලීම වුනේ ඉකොනොමැට්ටාගේ දැන්වීම් පුවරුව බ්ලොගර් කමෙන්ට් ක්‍රමයට මාරු කිරීම හොඳ බවයි. ඉතිං ඔය ලොක්කෝ කාටත් වගේ ඉකොනොමැට්ටාටත් ජනතා ඉල්ලීම ඇහුනාට ඕක තේරුණේ නැත. ඒ නිසා අඳුරේ සෑහෙන්න අත පත ගාන්නට සිදු විය.


පසුව අවබෝධ වූ පරිදි ඉකොනොමැට්ටා බොග පටන් අරන් තිබුනේ ගූගල්ගේ 'ඩිෆෝල්ට්' හිත නොරිදවමනි. අර ඩීඑස් මුලින්ම සුද්දන්ගේ හිත නොරිදවා පටන් ගත්තා වගේය. දවසක් දෙකක් යනකොට එක එක ගැජට් කෑලි අහුවිය. මෙයින් එකක් පාවිච්චි කර ගූගල් ප්ලස් සමඟ තානාපති සම්බන්ධතා ඇති කර ගත හැකිවිය. ඒත් ගැටයක් තිබුණේය. ඒක ඉකොනොමැට්ටා අවබෝධ කරගෙන නොහිටි නිසා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අසුවී තිබේ.


ඉකොනොමැට්ටා හිතුවේ මේ සංශෝධනය (අපි නිකමට කියමු දහඅටවන සංශෝධනය කියා) කළවිට ගූගල් ප්ලස් ජනතාවටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදය තවත් පුළුල් වනු ඇති බවයි. ඒත්, අම්මටසිරි, සිදු වී ඇත්තේ හිතූ දෙයම නොවේ. ගූගල් ප්ලස් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී තිබේ. හැබැයි උන්ට විතරය. අනිත් එවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඩී එස් ගේ හතලිස් අටේ පණතින් ඉන්දියානු දෙමළුන්ට අහිමි වුන විදියටම නිකම්ම නැති වෙලාය.


ඉකොනොමැට්ටාටත් ගොඩක් ලොක්කන්ට වගේ රසිකොලොජිස්ට් සහ අටම්පහුර ඇඟිල්ලෙන් ඇන පෙන්වන තුරු සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නය තේරුණේම නැත. කඩේට ගොඩ වෙන සෙනඟ හැටියට කෑම කා යන අයගේ සද්දයක් නැති නිසා ඉකොනොමැට්ටා හිතුවේ ඉකොනොමැට්ටාගේ ෆ්‍රයිඩ් රයිස් වල පතෝල වල වගේ කියන්ඩ තරම් ගුණයක් හෝ අගුණයක් නැති බවයි.


කෙසේ හෝ අන්තිමේදී යූඇම්පියට විධායක ජනාධිපති ක්‍රමයේ නරකත්, ශ්‍රී ලංකා එකට පළාත් සභා වල හොඳත්, හෙළ උරුමයට මහින්දගේ අඩුපාඩුත් අවබෝධ වුණා වගේ ඉකොනොමැට්ටාටත් දන්නෙම නැතුව (අර අනිත් දහඅටට අත ඉස්සුවා වගේ) සම්මත කර තිබුණු දහඅටවන සංශෝධනයේ අඩුපාඩු අහුවුණු නිසා එය රිවර්ස් කිරීමට දහනව වෙනි සංශෝධනය දෙකෙන් දෙකේ ඒකච්ඡන්දයෙන් සම්මත කළ බව මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් නැති නිසා ඉකොනොමැට්ටා වන මා විසින්ම සතුටින් දැනුම් දෙමි. මේ අනුව ඇනෝලා ඇතුළු ගූගල් ප්ලස් නැති හුදී ජනයාගේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය නැවතත් තහවුරු කර ඇත.


ඒ අතරම මේ වැඩේ කරන්නට ගොස් ගූගල් ප්ලස් හරහා පැමිණ බැබලි බැබලී තිබුණු අතලොස්සක් වූ වටිනා කමෙන්ට්ස් රැසක්ම සුදු වෑන් නැතුවම අතුරුදහන් වී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.


උතුරේ ජීවත් වූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත වූ විට සිදු වූ අයුරින්ම කලින් කමෙන්ට්ස් දැමීමට නොහැකි වූ කියවන්නන්ගේ අදහස් එකතු කළ විට ලොකු වෙනසක් වී කලින් නොපෙනුණු වෙනත් අඩුපාඩු ගොඩක් පෙනී යා හැකිය. ඒවා භාරගැනීමට සහ සලකා බැලීමට ඉකොනොමැට්ටා තව දුරටත් සුදානම්ය.


(මීට වඩා සිරා දෙයක් කියවන්ඩ බලාගෙන ආවනම් සොරි මෙයාලා...)

4 comments:

  1. බහුතරයට හොඳක් වෙනවනම් ඒ හොඳ ගැන හිතල සතුටු වෙමු. මේ ක්‍රමය හොඳයි කියල මට උපදෙස් දුන්නෙත් අටම් තමයි

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය වඩාත් සුදුසුය යන්න මගේත් අදහසයි. අනෙත් ක්‍රමය භාවිතා කළේ ඒ ගැන වැඩි අවබෝධයක් නැතුවය.

      Delete
  2. පැය විසි හතරකට එකකට වඩා ලිපි නොදැම්මොත් මැනවි. පාඨකයින්ට ඔබේ ලිපි මග හැරී යාමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ පෙර නිර්දේශ මෙන්ම මේ නිර්දේශයද අගය කරමි. ඒ නැතත් මේ දිනවල මෙන් මේ බ්ලොගය සඳහා සැලකිය යුතු කාලයක් යෙදවීමට මට හැකි වනු ඇත්තේ තව ටික කලකට පමණි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: