Wednesday, February 14, 2018

මැතිවරණ ප්‍රතිඵල- ගම්පහ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් විශාල කොටසක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇති බවයි. මේ ප්‍රමාණය එජනිසය විසින් මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා වැඩිය. ඒ අතර එජාපය විසින් පසුගිය මහමැතිවරණයේදී ලබාගත් නාගරික හා අර්ධ නාගරික ඡන්ද විශාල හෝදාපාළුවකට ලක්වී ඇති අතර එම ඡන්ද වලින් කොටසක් එජනිසය වෙතත්, තවත් කොටසක් ජවිපෙ හා වෙනත් පක්ෂ වෙතත් කාන්දු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලය ඉහත කරුණු තවදුරටත් සනාථ කරයි.

පොදුජන පෙරමුණ විසින් මෙවර ගම්පහෙන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 655,554 ක් වන අතර මේ ප්‍රමාණය මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 105,596කින් වැඩිය. මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ භාවිතා වූ ඡන්ද ප්‍රමාණයද පසුගිය මහමැතිවරණයේදී සිට වැඩි වී ඇත්තේ 108,400 කිනි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 664,347 අතරෙන් මහමැතිවරණයේදී එජනිසයට නොලැබුණු කොටසෙන් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ලබාගන්නට පොදුජන පෙරමුණ සමත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වූ ඡන්ද වලින් 3,196ක් හැර ඉතිරිය මෙසේ පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගත් ඡන්දයි.

මේ අයුරින් පොදුජන පෙරමුණ මහින්දගේ ඡන්ද නැවත එකතු කර ගනිද්දී එජාපයේ ඡන්ද ප්‍රමාණය 181,644 කින් අඩු වී තිබේ. ගම්පහෙන් ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද 136,298හිත්, ජවිපෙ වැඩිපුර ලබාගත් ඡන්ද 14,297හිත්, වෙනත් පක්ෂ විසින් වැඩිපුර ලබාගත් ඡන්ද 33,853හිත් එකතුව ඡන්ද 184,448 කි. මේ අනුව, අලුත් ඡන්ද තුන්දහසක් පමණ හැරුණු විට මෙසේ බෙදී ගොස් ඇති ඉතිරිය එජාපයෙන් අඩුවූ ඡන්ද ප්‍රමාණයට සමානය. මෙසේ එජාපය විසින් අහිමි කරගෙන ඇත්තේ, වැඩි වශයෙන්ම, තෙවසරකට පෙර ආකර්ශනය කරගත් පාවෙන ඡන්දයි. කොළඹින් හා ගම්පහෙන් පමණක් එජාපය විසින් අහිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 411,865 කි.

ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. එමෙන්ම, ශ්‍රීලනිපයේ නිර්මාතෘන් වන බණ්ඩාරනායකලාගේ බලකොටුවයි. එම දිස්ත්‍රික්කය තුළ පොදුජන පෙරමුණ හමුවේ ශ්‍රීලනිපයේ පසුබෑමෙන් පිළිබිඹු කරන්නේ ශ්‍රීලනිපයේ මළගමයි. මින් ඉදිරියට බණ්ඩාරනායක පවුලේ ජීවත්වන සාමාජිකයින්ට හෝ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට ලංකාවේ දේශපාලනය කෙරෙහි මෙතෙක් කළ බලපෑම කළ හැකියැයි නොපෙනේ.

ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. එහෙත්, පොදුජන පෙරමුණ විසින් මේ වන විට ශ්‍රීලනිපය විස්ථාපනය කරමින් මේ අභියෝගය ජයගෙන ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රීලනිපයට අත්වනු ඇත්තේ පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණමයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 416කින් ශ්‍රීලනිපය මුල් තැනට පැමිණ ඇත්තේ කොට්ඨාශ 6 කදී පමණි. කොට්ඨාශ 67ක්  එජාපය විසින් ජයගෙන ඇති අතර ඉතිරි කොට්ඨාශ 343ම ජයගෙන ඇත්තේ පොදුජන පක්ෂයයි. කෙසේවුවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් අතරින් පොදුජන පෙරමුණට බහුතර බලය ඇත්තේ ආයතන 10ක පමණි. එක් ආයතනයක බලය එජාපයට ලැබී ඇති අතර ඉතිරි ආයතන අටක බලය පිහිටුවිය හැක්කේ පක්ෂ දෙකක හෝ කිහිපයක සන්ධානයකට පමණි. ඒ නිසා, ගම්පහ දිස්ත්‍රික්කය තුළදීද මේ වෙලාවේ කොළඹදී මෙන් ශ්‍රීලනිපය සතුව සැලකිය යුතු තීරක බලයක් තිබේ.





Monday, February 12, 2018

මැතිවරණ ප්‍රතිඵල- කොළඹ දිස්ත්‍රික්කය

පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර අවසානය. මේ මැතිවරණය මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මැතිවරණයයි. මැතිවරණය සාමකාමී හා සාධාරණ ලෙස පැවැත්වුණු බව පොදුවේ පිළිගැනෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදීනම් කොමිසම එතරම්ම කාර්යක්ෂම නොවූ බව පැහැදිලිව පෙනුණු කරුණකි.

මේ මැතිවරණය පැවැත්වුණේ අලුත් හා ඉතා සංකීර්ණ ක්‍රමයකටය. මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් වන නියෝජිතයින් කවුද යන්න පමණක් නොව කොපමණද යන්නත් ප්‍රතිඵල පිටවන තුරු දැනගත නොහැකි වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කොළඹ මහ නගර සභාව සඳහා නියමිත මන්ත්‍රීධුර ගණන 110ක් වුවත්, මෙවර මැතිවරණයෙන් මන්ත්‍රීවරු 119ක් තේරී පත් වී සිටිති. මේ අයුරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වැඩිපුර තේරීපත් වී ඇති මන්ත්‍රීවරුන් ගණන 29කි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එක් එක් ආසනයේ වැඩිම ඡන්ද ලබාගත් පක්ෂ දැක්වෙන සටහනක් වේගයෙන් සංසරණය විය. එහෙත්, රටම එක් මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ජනාධිපතිවරණයකදී එවැනි සිතියමක ලොකු තේරුමක් තිබුණේ නැත.

මෙවරද එවැනිම සිතියම් දකින්නට ලැබේ. මේ සිතියම් පාට කර තිබෙන්නේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ අනුවය. එහෙත් ඇත්තටම මේ සිතියමේද වැඩි තේරුමක් නැත. අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක වැඩිම ඡන්ද ලබාගත් පමණින් එහි බලය පිහිටුවිය නොහැකිය.

අලුත් මැතිවරණ ක්‍රමය සමානුපාතික හා කොට්ඨාශ ක්‍රම වල මිශ්‍රණයක් වුවත් මේ කොට්ඨාශයක් යනු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත පිහිටි කුඩා ප්‍රදේශයකි. එවැනි එක් එක් කොට්ඨාශය වෙනුවෙන් වැඩි ඡන්දයෙන් නියෝජිතයින් තෝරා ගැනුණේය. අලුත් මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වුනේම මේ අයුරින් කොට්ඨාශයකට නිශ්චිත මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගැනීමට ඉඩ සැලසීමයි. මට අනුව, මෙය අලුත් මැතිවරණ ක්‍රමයේ පැවති ප්‍රධානම සාධනීය අංගයයි.

මැතිවරණය ක්‍රමයට ගැලපෙන පරිදි මේ එක් එක් කොට්ඨාශය තුළ වෙන වෙනම ඡන්ද ගණන් කිරීමද සිදුවිය. අදාළ ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙතද ලැබී ඇති අතර ඇතැම් වෙබ් අඩවි හරහාද දැක බලාගන්නට පුළුවන. එහෙත්, මේ කොට්ඨාශ ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. මැතිවරණයට පෙර මා අපේක්ෂා කළ පරිදි මේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූවානම් ලංකාවේ ඡන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැසක් දැක බලාගන්නට ඉඩ තිබුණේය. වඩා තේරුමක් ඇති සිතියමක් වන්නේ මේ එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ පක්ෂය දැක්වෙන සිතියමකි.

අලුත් මැතිවරණ ක්‍රමයේ වැදගත්ම අංගය එක් එක් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සිටීම වුවත්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේදී මැතිවරණ කොමිසම විසින් මේ කරුණ නොසලකා හැර තිබුණේය.

අලුත් ක්‍රමයකට පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීම අභියෝගයක් වුවත් මැතිවරණ කොමිසමට ඒ සඳහා නිසි පෙර සූදානමක් තිබුණේද යන්න සැක සහිතය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සාමාන්‍යයෙන් පෙර මැතිවරණ වලදී දැකිය නොහැකි වූ තරමේ අත් වැරදි දකින්නට ලැබුණේය. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන නිල වෙබ් අඩවියට දැන් පිවිසුනත් ලංකාවේ කොහේවත් නැති "මීගමුව දිස්ත්‍රික්කයේ" පළාත් පාලන ආයතන වල ඡන්ද ප්‍රතිඵල බලාගන්නට පුළුවන. මුලින්ම ප්‍රකාශයට පත් කළ ඡන්ද ප්‍රතිඵල තුනෙන් එකක් වූ කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ නිල ප්‍රතිඵල ලේඛණයේ වූ වැරදි නිවැරදි කරමින් මේ වන විට අලුත් ප්‍රතිඵල ලේඛණයක් නිකුත් කර තිබේ. තවත් මෙවැනි අත්වැරදි කොපමණ ඇත්දැයි කිව නොහැක.

මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගන්නටනම් එක් එක් පක්ෂය ලැබූ ඡන්ද, මන්ත්‍රීධුර මෙන්ම කොට්ඨාශ ජයග්‍රහණ ගැනද විමසිය යුතුය. පහතින් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය හා අදාළ එවැනි දත්තයි.





පළාත් පාලන මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 521,656 ක් ලබාගෙන ඇති අතර මේ ප්‍රමාණය 2015 මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද 474,063 ට වඩා 47,593කින් වැඩිය. එහෙත්, 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද 562,614ට වඩා 40,958කින් අඩුය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ඡන්ද 725,073 ක් ලබාගත් අතර මහ මැතිවරණයේදී එජාපය හා ජවිපෙ එකතුව ගත් ඡන්ද ප්‍රමාණය 722,134කි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලද ඡන්ද මහමැතිවරණය වන විට කොටස් දෙකකට බෙදෙනු හැර වෙනත් වෙනසක් සිදු නොවුණු බව පැහැදිලිය.

මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 88,551ක් අඩුවෙනි. ඒ අතරම භාවිතා වූ මුළු ඡන්ද ප්‍රමාණයද 87,461කින් අඩු විය. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 88,000ක් පමණ මහමැතිවරණදී භාවිතා නොවූ බව සිතිය හැකිය. මේ ඡන්ද වලින් අඩකට වඩා මඳක් වැඩියෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගෙන තිබේ. ඒ අනුව, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.

අනෙක් අතට එජාපය විසින් මෙවර කොළඹින් ලබාගෙන ඇත්තේ ඡන්ද 410,522ක් පමණි. මෙය ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකි. රනිල් වික්‍රමසිංහ අවසන් වරට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ 2005දී කොළඹින් ඡන්ද 569,627ක් ලබාගත් අතර, මහින්ද රාජපක්ෂ යුද්ධය නිමවා අති විශිෂ්ඨ මැතිවරණ ජයක් වාර්තා කළ 2010දීද සරත් ෆොන්සේකා ඡන්ද 533,022ක් ලබාගත්තේය. මෙවර සිදුව ඇත්තේ එජාප ඡන්ද වල පෙර නොවූ විරූ නාය යාමකි.

පසුගිය මහ මැතිවරණයේදී (මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් ජවිපෙ ඡන්ද ඉවත් වීමෙන් පසු) එජාපය ඡන්ද 640,743ක් ලබා ගත්තේය. ඒ අනුව, පසුගිය වසර තුනක කාලය තුළ කොළඹින් පමණක් එජාපයේ ඡන්ද 230,221ක් අඩු වී ඇත. පොදුජන පෙරමුණට මෙතරම් ඉදිරියට එන්නට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ ඡන්ද වැඩි වූ නිසා නොව එජාපයේ ඡන්ද මේ තරමටම අඩු වූ නිසාය. මේ ඡන්ද වලට සිදුවුණේ කුමක්ද?

කොළඹින් මෙවර එජනිසය විසින් ලබාගෙන ඇති මුළු ඡන්ද ගණන 134,147කි. ජවිපෙ ඡන්ද ප්‍රමාණය 23,316කින්ද, වෙනත් පක්ෂ වල ඡන්ද 58,696කින්ද ඉහළ ගොස් තිබේ. මේ සියල්ලම එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලෙස සැලකුවත් තවත් ඡන්ද 14,000ක පමණ අඩුවක් තිබේ. පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 47,000කින් පමණ ඉහළ ගියත්, වලංගු ඡන්ද වැඩිවී තිබෙන්නේ 33,000කින් පමණ නිසා ඉතිරිය මෙවර භාවිතා නොවුණු එජාප ඡන්ද විය හැකිය. එජනිසයට, ජවිපෙට හා වෙනත් පක්ෂ වෙත විතැන් වුනු හෝ භාවිතා නොවුණු එජාප ඡන්ද 230,000න් වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද විය හැකි වුවත් එජාපයේ පසුගිය ඡන්ද පදනම් දෙස බැලූ විට එජාපයේම ඡන්ද වලින්ද යම් කොටසක් එජාපය විසින් මෙවර අහිමි කරගෙන ඇති බව පෙනේ. මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන බල ප්‍රදේශයකින් 50% ඉක්මවා ඡන්ද ලබාගන්නට එජාපය සමත් වී නැත.

එජාපයේ මේ පෙර නොවූ විරූ පසුබෑම හමුවේ පොදුජන පෙරමුණ කොළඹින් පවා මුල් තැනට පැමිණියත් ඔවුන්ටද 50% ඉක්මවන්නට හැකිව තිබෙන්නේ ආයතන බල ප්‍රදේශ හතරකදී පමණි.

අලුත් මැතිවරණ ක්‍රමය අනුව කිසියම් ආයතන බල ප්‍රදේශයක කොට්ඨාශ සියල්ලේම හෝ ආසන්න ගණනක මුල් තැනට පැමිණෙන පක්ෂයට හෝ කණ්ඩායමට විශේෂ වාසියක් ලැබේ. මේ වාසිය ලබමින් එජාපය ආයතන දෙකකත්, පොදුජන පෙරමුණ ආයතන හයකත් බහුතර බලය ලබා ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන ආයතන පහක බහුතර බලය කිසිදු පක්ෂයකට ලැබී නැත. මේ ඇතැම් ආයතන වල බලය පිහිටුවීමේ තීරක බලය එජනිසය සතුව ඇත.


Sunday, February 11, 2018

යහපාලනය ඉවරද?


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මේ වන විට බොහෝ දෙනෙකුට රහසක් නොවේ. අලුත් දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එක්සත් ජාතික පක්ෂය අභිබවමින් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශ විශාල ප්‍රමාණයක මුල් තැනට පැමිණ තිබේ.

මේ මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවේ. එමෙන්ම, කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක මුල් තැනට පැමිණීම අදාළ පළාත් පාලන ආයතනයෙහි බලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සාධකයක්ද නොවේ. එහෙත්, මේ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවේ ඉදිරි දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි එකකි.

මැතිවරණ ප්‍රතිඵලය විසින් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම මෙන්ම එජාප, ජවිපෙ වැනි පක්ෂ වල ඡන්ද පදනම් පිළිබඳවද වඩා යාවත්කාලීන තොරතුරු ප්‍රදර්ශනය කර තිබේ. මේ මැතිවරණයේදී සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම වැඩිවීමකට වඩා ඔහු සතුව කොහොමටත් තිබුණු ඡන්ද පදනම හරියටම දැකගන්නට ලැබීමකි. අනෙක් අතට එජාපය ඔවුන්ගේම වූ සැබෑ ඡන්ද පදනම දක්වා තල්ලු වී තිබේ.

මෙහිදී මා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයැයි නොකියා මහින්ද රාජපක්ෂගේ ඡන්දයැයි කියන්නේ මේ ඡන්ද පක්ෂයක ඡන්ද වලට වඩා පුද්ගලයෙකු ලෙස මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වන ඡන්ද බව පෙනෙන බැවිනි. දැන් පෙනෙන්නට තිබෙන පරිදි, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවද, ලක්ෂ පණහක් ඉක්මවන මේ ඡන්ද මහින්ද රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකිය.

මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58ක් ලබාගත්තේය. ඊටත් පෙර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 60ක් ලබාගත්තේය. එහෙත්, ඒ දෙවරම මේ ඡන්ද ලබාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා වශයෙන්ද වූ නිසා, ඒ ඡන්ද වලින් පෞද්ගලිකව ඔහු වෙත ආකර්ෂණය වූ ඡන්ද ප්‍රමාණය පැහැදිලිව දැනගන්නට හැකියාවක් නොතිබුණේය. සාමාන්‍යයෙන් එජාප හෝ ජවිපෙ වැනි පක්ෂයක නියෝජිතයෙකුට ලැබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් නියෝජිතයා කවුරු වුවත් ලැබෙන පාක්ෂික ඡන්දයි. එජනිසයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපයටද එවැනි ඡන්ද පදනමක් තිබේ.

මීට පෙර දේශපාලන පක්ෂ වල නායකයින් මුල් පක්ෂ වලින් වෙන්වී අලුත් පක්ෂ පිහිටුවා ගත් අවස්ථා බොහොමයකදී ඔවුන්ට මුල් පක්ෂය අභිබවන්නට ලැබී නැත. මීට පෙර එසේ සිදුවූ ප්‍රධාන අවස්ථාව 1956දී සිදුවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජයග්‍රහණයයි. මෙයද කිසියම් අයුරකින් ඒ ජයග්‍රහණයට සමාන කළ හැකි වුවත් වෙනස්කම්ද රැසක් තිබේ.

මේ වන විට එජනිසයේ හා ශ්‍රීලනිපයේ නායකයාව සිටින්නේ එජනිස ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කර එජනිස අපේක්ෂකයාව පරාජය කළ, එජනිස පාක්ෂිකයින්ගේ ඡන්ද නොලබමින් ජයග්‍රහණය කළ අයෙකි. එහෙත්, ඔහු එජනිසය මැතිවරණය කරා මෙහෙයවූයේ දිගුකාලීන ඉතිහාසයක් ඇති පක්ෂයක නිල අයිතිය මෙන්ම රාජ්‍ය බලයද අතැතිවය. අනෙක් අතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව රාජ්‍ය බලය හෝ දිගුකාලීන ඉතිහාසයක් නොතිබුණේය.

දැන් පෙනෙන්නට ඇති පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන ඇති ඡන්ද ප්‍රමාණය 2015 මැතිවරණයෙදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයද ඉක්මවයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටින්නේනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ඔවුන්ට විශාල තර්ජනයක් නොවේ. මේ ප්‍රමාණය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා අඩුය. එමෙන්ම, එම පක්ෂ දෙකට එක්ව පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණ ඇති පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවන්නට වුවද පුළුවන.

ආණ්ඩුවේ පැත්තෙන් ගත් විට ප්‍රශ්නය එය නොවේ. මේ මැතිවරණ ප්‍රතිපලය නිසා එජාපයේ අපේක්ෂිත සැලසුම් උඩුයටිකුරු වී තිබේ.

නිල ශ්‍රීලනිපය තිබුණේ මෛත්‍රීපාල සිරිසේන සතුව නිසා එජාපය අපේක්ෂා කරන්නට ඇත්තේ එජනිසයේ 2015 ඡන්ද පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදීයාමෙන් එජාපයට වැඩි පළාත් පාලන ආයතන ගණනක මුල් තැනට එන්නට ලැබෙනු ඇති බවයි (මැතිවරණයට පෙර මා සිතුවේද එසේ වනු ඇති බවයි). එසේ වූවානම්, ඊළඟ අදියරේදී සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් වීමයි. මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් සති දෙක තුනේදී සීමාවෙන් ඉදිරියට පැමිණ පහර දෙන්නට පටන් ගත්තේ මේ ගැන ඉවෙන් මෙන් දැනුනු නිසා වන්නට පුළුවන.

දැන් පෙනෙන්නට ඇති පරිදි, සිදු වී තිබෙන්නේ පොදුජන පෙරමුණ විසින් එජනිසයේ ඡන්ද පදනම මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තහවුරු කර ගනිද්දී එජාප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් එජනිසය වෙත විතැන් වීමයි. මෙය එක් අතකින් මෛත්‍රී විසින් රැගෙන ආ දේ ඔහු විසින්ම ආපසු ගෙනයාමක් ලෙසද හැඳින්විය හැකිය.

එජාපය මුල් තැනට පැමිණි තැන් ගණනාවක්ම පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනයි. ඉතිරි ඒවායින්ද බොහොමයක එජාපයට තනිව බලය පිහිටුවීමේ හැකියාවක් නැත. අනෙක් අතට, පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණි ආයතන ගණනකද ඔවුන්ට තනිව බලය පිහිටුවිය නොහැකිය. ඒ නිසා, මතුපිටින් එකවර නොපෙනෙතත්, එජනිසයට මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විශාල හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබී තිබේ. ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ ජනාධිපතිවරයා විසින් ඒ හෙට්ටු කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුවය.

Friday, February 9, 2018

කළු බළල්ලු හා කළුවර කාමර


කළු බළල්ලුන්ට හා කළුවර කාමර වලට බයෙන් ජීවත් වන්නට වූ කාලයක් තිබුණේය. ඒ දශක තුනකට පමණ පෙරය. දර්ශනවාදය, ආගම හා විද්‍යාව සසඳමින් කළු බළල්ලු හා කළුවර කාමර ගැන කතා කෙරෙන ජනප්‍රිය සාදෘශ්‍යයක් තිබේ. එය මෙවැන්නකි.

-දර්ශනවාදය යනු කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.
-පාරභෞතික විද්‍යාව යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සෙවීම වැන්නකි.
-දේවධර්මවාදය යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සොයමින් "මම සොයාගත්තා!" කියා කෑගැසීම වැන්නකි.
-විද්‍යාව යනු විදුලි පන්දමක් රැගෙන කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.

මේ සාදෘශ්‍යය හරහා මතු කරන්නේ "ආගම් චොරය- එහෙත් විද්‍යාවනම් පට්ට සිරාය" කියන අදහසයි.

මා ආගම් අදහන්නෙකු නොවේ. ඒ මොන දෙයක් වුවත් ඇදහීම මට ඉතා අසීරු බැවිනි. එවැනි අසීරුතාවයක් නැති අය වෙනත් අයට කරදරයක් නොවන පරිදි තමන්ට අවශ්‍ය දෙයක් අදහාගත්තාට මට කිසිදු ප්‍රශ්නයක්ද නැත.

ඉහත ප්‍රකාශය හරහා එළි දක්වන්නේ විද්‍යාව අදහන්නන්ගේ දෘෂ්ඨියයි. එහෙත්, ඔවුන් පෙන්වන්නට හදන්නේ ආගම් අදහන්නන් මෙන් කිසිවක් නොඅදහන තමන් මාාාාර​ බවයි.

විද්‍යාව ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම හා විද්‍යාව ඇදහීම දෙකකි. විද්‍යාවට මොනවා හෝ දෙයක් එකතු කරන මා දන්නා කිසිවෙකු විද්‍යාවේ ක්‍රමවේදය භාවිතා කරන්නෝ මිස විද්‍යාව හරහා මතුකරගන්නා දේ අදහන්නෝ නොවෙති. එහෙත්, තමන් හැමවිටම විද්‍යාවම අනුගමනය කරන බව හිතන, පරිධියේ ඉන්නා බොහෝ දෙනෙකු ඒ වෙනුවට කරන්නේ විද්‍යාව ආගමක් මෙන් ඇදහීමයි.

ඉහත සාදෘශ්‍යය ජීවිතාදර්ශය කරගත් "බුද්ධිමත්" විද්‍යා ආගමිකයින් සිතන්නේ පහත පරිදි විය හැකිය.

"කළුවර කාමරයේ කළු බළලෙකු සිටින්නට හෝ නොසිටින්නට පුළුවන. ඒ නිසා, මා කළ යුත්තේ ආගම් අදහන්නෙකු මෙන් පූර්ව නිගමන වලට නොඑළඹී, එමෙන්ම අඳුරේ අතපත නොගා, විදුලි පන්දමක් රැගෙන මේ ගැන සොයා බැලීමයි. එහෙත්, ආගම් අදහන්නා කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු සිටින බව විශ්වාස කරමිනි. ඔහු එහි ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව තහවුරු කර ගත හැකි එකම මාර්ගය වන විදුලි පන්දමක් හෝ නොමැතිවය. නිසි පරීක්ෂාවකින් තොරවම කාමරයේ කළු බළලෙකු සිටින බව ඔහු නිගමනය කරයි."

බැලූ බැල්මටම පෙනෙන්නේ මේ විද්‍යා ආගමිකයා පරීක්ෂණ හා නිරීක්ෂණ මත පමණක් නිගමන වලට පැමිණෙන පූර්ව නිගමන වලට නොඑළඹෙන සිරා පොරක් බවයි. එහෙත්, ඇත්තටම ඇයද සිටින්නේ පූර්ව නිගමන ගණනාවක් ඇතුළේ සිරවය.

මේ ජාතියේ විද්‍යා ආගමිකයින් ඔවුන්ගේ ඇදහීම් අනුව විවිධ මට්ටම් වල සිටින්නට පුළුවන. උදාහරණයක් ලෙස අපි ජිල් හා සූසන් නම් වූ විද්‍යා ආගමිකයින් දෙදෙනෙක් ගැන සිතමු.

ආගම් අදහන්නන් විසින් කාමරයේ කළු බළලෙකු සිටිතැයි ඇදහීම විවේචනය කරන ජිල් වැනි අය කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු නැතැයි අදහමිනි. ඇය කාමරයට යන්නේම ඇගේ මේ පූර්ව නිගමනය තහවුරු කිරීම සඳහා සාක්ෂි එකතු කරන්නටය.

බොහෝ විද්‍යා ආගමිකයින් ජිල් වැනි අය වුවත්, ඊට වඩා පියවරක් ඉදිරියෙන් සිටින සූසන් වැනි අයත් සිටිති. සූසන් කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු ඇතැයි හෝ නැතැයි යන පූර්ව නිගමයක සිටිමින් නොවේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඇය පූර්ව නිගමන වල නිරතව නොසිටින බව නොවේ.

පළමුව, ජිල් මෙන්ම සූසන්ද කාමරයේ සිටියත් නැතත් වෙනත් කොහේ හෝ කළු බළලෙකු කියා වාස්තවික යථාර්තයක් ඇතැයි අදහයි. දෙවනුව, අඳුරු නිසා නොපෙනුණත් කළුවර කාමරයක් තුළ කළු බළලෙකු සිටින්නට ඉඩක් ඇති බව අදහයි. තෙවනුව, එසේ කළුවර කාමරය තුළ කළු බළලෙකු සිටීනම් විදුලි පන්දම් එළියට පෙනිය යුතු බව අදහයි. සිවුවනුව, විදුලි පන්දම් එළියට නොපෙනේනම් කාමරය තුළ කළු බළලෙකු සිටිය නොහැකි බව අදහයි. එහෙත්, මේ සියල්ල ඇදහීම් පමණි.

පළමුව "කළු" කියා භෞතික දෙයක් නැත. අපට යමක් කළු පැහැයෙන් පෙනීම යනුවෙන් අදහස් වන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල හා යෂ්ඨි සෛල කිසියම් වස්තුවකින් පරාවර්තනය වී එන ආලෝකයට ප්‍රතිචාර නොදක්වන බවයි. අපට කළු පැහැයෙන් පෙනෙන සතෙකු වෙනත් බොහෝ සතුන්ට වෛවර්ණව පෙනේ. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති හෝමෝ සේපියන්ස් කෙනෙකුට වුවද වෙනත් අය කළු ලෙස හඳුනාගන්නා කිසියම් දෙයක් වර්ණවත්ව පෙනෙන්නට පුළුවන. වස්තුවක් මොළය විසින් කළු ලෙස හඳුනාගන්නවා මිස නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළු පැහැයක් නැත. කළු මෙන්ම අනෙකුත් සියළු පැහැයන්ද භෞතිකව පවතින දේවල් නොවේ. එසේනම් නිරීක්ෂකයාගෙන් ස්වායත්තව කළු බළලෙකු සිටිය නොහැකිය. 

"කළු" බළලා මෙන්ම "කළුවර" කාමරයද තිබෙන්නේ නිරීක්ෂකයාගේ මනසේය. ඒ හැර නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළුවරක් කියා දෙයක් නැත. අඳුරු කාමරයක සිට මඳ අඳුරේ ඇති කාමරයකට පැමිණෙන අයෙකු දෙවන කාමරය එළිය තිබෙන කාමරයක් ලෙස හඳුන්වන්නට ඉඩක් නැතත්, මිදුලේ තද අවුවේ සිට එහි ඇතුළු වන කෙනෙක් ඒ කාමරයම කළුවර කාමරයක් ලෙස හඳුනාගන්නට පුළුවන. කාමරයක් කළුවර කාමරයක් හෝ කළුවර නැති කාමරයක් ලෙස නිශ්චිත ලෙස හඳුනාගත හැකි, සියළු දෙනාටම එකඟ විය හැකි නිශ්චිත සීමා ඉරක් නැත. එක් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට ප්‍රමාණවත් නොවන මඳ ආලෝකයක් තවත් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට පුළුවන.

කළුවර නැති තැනක සිටින "සුදු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය බොහෝ දෙනෙකුගේ ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය කරතත්, එවැනි තැනකම සිටින "කළු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය එසේ යෂ්ඨි සෛල උත්තේජනය නොකරයි. ඒ නිසා, එක් බළලෙක් කළු බළලෙකු ලෙසත් අනෙක් බළලා සුදු බළලෙකු ලෙසත් අපට වෙන් කර හඳුනාගත හැකිය. එහෙත්, කළුවර කාමරයක් ඇතුළේදී මේ බළලුන් දෙදෙනාගෙන් එකෙක්වත් ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය නොකරන නිසා බළලුන් දෙදෙනා වෙන් කර හඳුනාගත නොහැකිය. හරියටම කියනවානම් කළුවර කාමරයක සිටිය හැක්කේ කළු බළලුන් පමණි.

එහෙත්, කාමරයෙන් එළියේ සිටින සුදු බළලෙකුත් කාමරයට රිංගීමෙන් අනතුරුව කළුවට පෙනෙන බළලෙකුත් එකම වාස්තවික යථාර්තයක් බව අපේ මනස තීරණය කරයි. ඒ අනුව, කාමරයෙන් එළියේදී බළලා සුදුනම් කාමරය ඇතුළේ සිටින බළලාත් සුදු විය යුතු බව හිතන්නට මනස අපව පොළඹවයි. එහෙත්, ඇත්තටමනම් කාමර ඇතුළට රිංගන බළලුන් තවදුරටත් එළියේ සිටිය බළලුන්ම නොවේ. මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු තවදුරටත් කලින් සිටි පුද්ගලයාම නොවේ.

ජනාධිපති කොමිසමක් දැමීම හොරු ඇල්ලිය හැකි එකම ක්‍රමය නොවන්නාක් සේම විදුලි පන්දමක් ඇල්ලීම කාමරයේ කළු බළලෙකු සිටින බව තහවුරු කරගත හැකි එකම ක්‍රමය නොවේ. කළු බළලෙකු කාමරයට රිංගනු දුටු අයෙකුට උගේ හඬින් හෝ ස්පර්ශයෙන් වුවද බළලා හඳුනාගත හැකිය. ඒ බව නිගමනය කළ හැකි තවත් බොහෝ ක්‍රම තිබේ. මේ ක්‍රම කිසිවක් වරදින්නට කිසිදු ඉඩක් නැති ක්‍රම නොවේ.

ආගම් අදහන බොහෝ දෙනෙකු කළුවර කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව අදහමිනි. මේ කළු බළලා ඇත්තටම සිටින්නේ ඔවුන්ගේ මනසේය. ඒ නිසා, කාමරයට ඇතුළු වන ඔවුන්ට බොහෝ විට මේ කළු බළලා හමුවේ. ඒ සඳහා විදුලි පන්දමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත්, විද්‍යාව අදහන අයට විදුලි පන්දමක් නැතිව කළු බළලා දැකිය නොහැකිය. අවසාන වශයෙන් විදුලි පන්දමක උපකාරයෙන් කළුවර කාමරයේ කළු බළලා දකින විද්‍යාව අදහන්නන් දකින බළලා සිටින්නේද ඔවුන්ගේ මනසේය. එපමණක් නොව කළු නොවන වෙනත් බළලුන් සිටින්නේද, කළුවර නැති වෙනත් කාමර හා විදුලි පන්දම් තිබෙන්නේද ඔවුන්ගේ මනසේය.

මා දකින අඩි සලකුණු කයෝටියෙකුගේ, කෝයිවෘකයෙකුගේ හෝ බල්ලෙකුගේ වන්නේ ඒවා දකින අවස්ථාවේදී මගේ මනස පිළිගන්නට වඩාත්ම කැමති අර්ථකතනය අනුවය.

ඒ කෙසේ වුවත්, ලිපිය ආරම්භයේදී පළ කළ සාදෘශ්‍යය කලක් තිස්සේ ප්‍රචලිතව ඇති එකකි. අර්නස්ට් ගෙල්නර් වැනි ඇතැම් අය එයට තවත් කොටස් එකතු කර තිබේ. පහතින් ඇත්තේ එවැන්නකි.

"මාක්ස්වාදය යනු ඉතා විශාල කළුවර කාමරයක එහි නැති ඉතා කුඩා කළු බළලෙකු සොයමින් බලළාව අල්ලාගත් බවත් බළලා ගැන සියළු දේ දන්නා බවත් පෙනෙන්නට සැලැස්වීමයි."

Wednesday, February 7, 2018

තව දවස් තුනයි!


පළාත් පාලන මැතිවරණ වලට ඇත්තේ දින තුනකි. මීට පෙර මා මේ හා අදාළව ලිපි කිහිපයක් ලියා තිබේ. ඒ ලිපි ලිවීමෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ඉතා සංකීර්ණ ක්‍රමයක් වන අලුත් මැතිවරණ ක්‍රමය ගැන හා එහි ද්වීතියික බලපෑම් ගැන කතා කරන්නටය. මේ එක් ලිපියකට ප්‍රතිචාර දක්වමින් අපේ බ්ලොග් හිතවතෙකු වන නයනේ විසින් හා තවත් ඇනෝ කෙනෙකු විසින් ලියා තිබුණේ මගේ ලිපිය එජාපයට වාසි සහගත උපකල්පන මත ලියා ඇති එකක් බවයි.

බොහෝ දුරට බාහිර නිරීක්ෂකයෙකු ලෙස මේ මැතිවරණය දෙස බලන මට මේ මැතිවරණයේ ප්‍රතිඵලය පෞද්ගලිකව එතරම් වැදගත් එකක් නොවේ. ඒ නිසාම, ලියන ලිපියකින් කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වාසියක් හෝ අවාසියක් සිදු වන්නේද යන්නත් එතරම් වැදගත් කරුණක් නොවේ.

මෙහි පළවන බොහොමයක් ලිපි කියවන්නේ දහසකට අඩු පිරිසකි. ඒ අයගෙන්ද අඩක් පමණ මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට වැඩි ඉඩක් නැති, ලංකාවෙන් පිටත ජීවත් වන අයයි. ඉතිරි අයගෙන් අති මහත් බහුතරය මැතිවරණය හා අදාළ ලිපියක් කියවන්නට එන්නේම තමතමන්ගේ පූර්ව නිගමන වල සිටිමිනි. ඒ නිසා, මේ අන්තිම මොහොතේ මෙහි මොනවා ලිවුවත් ඒ හේතුවෙන් එක ඡන්දයක් හෝ භාවිතා වන ආකාරය වෙනස් වේයැයි මා හිතන්නේ නැත.

මැතිවරණය කෙරෙහි නොගිණිය හැකි තරමේ ඉතා සුළු බලපෑමක් සිදුවීමේ අවදානමක් ඇතත්, මැතිවරණය ගැන මෙහි කතා කිරීමෙන් පසුව ගත වූ තෙසතියක පමණ කාලය තුළ "දැනගත්" අලුත් තොරතුරු හෝ සිදු වූ අලුත් දේවල් තුනක් නිසා මැතිවරණයට පෙර මෙහි තවත් සටහනක් යුතුයැයි සිතේ.

පළමුවැන්න මැතිවරණ ක්‍රමය ගැන වඩා නිවැරදි තොරතුරු දැනගන්නට ලැබීමයි. දෙවැන්න, මැතිවරණය ආසන්න කාලයේදී ජනාධිපති සිරිසේනගේ හැසිරීමයි. තෙවැන්න, මේ වන විට තැපැල් ඡන්ද භාවිතා කර අවසන් කර සිටින කිහිප දෙනෙකු මැතිවරණයේදී හැසිරී ඇති ආකාරයයි.

පළමුවැනි කරුණ වෙත මුලින්ම ගියහොත් දැන් කවුරුත් වාගේ දන්නා පරිදි මෙවර ඡන්ද පත්‍රිකා වල පක්ෂයේ හෝ කණ්ඩායමේ නම මිස අපේක්ෂකයින්ගේ නම් නැත. මගේ අදහස අනුව, ඇතැම් විට, මෙය මැතිවරණ පණතට යටින් මැතිවරණ කොමිසම මට්ටමේදී තීරණය වූවක් වන්නට පුළුවන. කොට්ඨාශ තුන් හාර දහසක් වෙනුවෙන් අනන්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ අපහසුව සැළකු විට මෙය ප්‍රායෝගික තීරණයකි. එය එසේ වූවත් නොවූවත්, මේ කරුණ නිසා මේ මැතිවරණ ක්‍රමයේ කොට්ඨාශ මන්ත්‍රී ධුර නිර්ණය වන ආකාරය පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමයෙන් වෙනස් වෙයි.

පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ බහු මන්ත්‍රී කොට්ඨාශයක මන්ත්‍රීධුර වෙනස් පක්ෂ වල අපේක්ෂකයින්ට ලබා ගන්නට හැකියාවක් තිබුණේය. පෙනෙන්නට ඇති ආකාරයට අලුත් ක්‍රමයට එවැනි ඉඩක් නැත. මෙහිදී මා නිවැරදි නොවන්නට පුළුවන. මා වැරදි නැත්නම්, මෙහි වාසිය තිබෙන්නේ බහු ආසන සහිත පළාත් පාලන බල ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවය ඇති පක්ෂයටය.

ඉතිරි කරුණු දෙක ගැන කතා කරන්නට පෙර අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ 2015 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵලය වෙත යා යුතුය. එය මෙවැන්නකි.

එජාපෙ: ඡන්ද ලක්ෂ 50.1 (45.7%)
එජනිස: ඡන්ද ලක්ෂ 47.3 (42.3%)
ජවිපෙ: ඡන්ද ලක්ෂ 5.4 (4.9%)
ද්‍රස: ඡන්ද ලක්ෂ 5.2 (4.6%)

රටේ සමස්ත ඡන්ද අනුව ප්‍රධාන කණ්ඩායම් හතර සතු වූ ශක්තිය ඉහත පරිදි වුවත්, අලුත් ක්‍රමයට වැදගත් වන්නේ මුළු රටෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය නොවේ. එක් එක් කොට්ඨාශය ඇතුළත ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයයි.

වත්මන් ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණයකදී ඉහත ක්‍රමයටම ඡන්දය භාවිතා වුවහොත් ද්‍රවිඩ සන්ධානයට රටේ පළාත් පාලන ආයතන වලින් 10-12%ක පමණ බලය අත්පත් වනු ඇති නමුත් ඔවුන්ට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට රටේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිවන්නේ නැත. එමෙන්ම, එජනිසයට රටේ පළාත් පාලන ආයතන වලින් 47-48%ක පමණ බලය හිමි වනු ඇති අතර එජනිසයට වඩා වැඩිපුර ඡන්ද ලබාගත් එජාපෙට හිමි වනු ඇත්තේ පළාත් පාලන ආයතන වලින් 41-42%ක පමණ ප්‍රමාණයකි.

අප පැහැදිලිවම දන්නා පරිදි මෙවර මැතිවරණයේදී ඡන්ද බෙදී යනු ඇත්තේ 2015 අගෝස්තුවේදී බෙදී ගිය ආකාරයට නොවේ. එයට ප්‍රධාන හේතුව අලුත් පක්ෂයක් වන පොදුජන පෙරමුණේ ආගමනයයි. මේ ගැන විශ්ලේෂණය කරන්නට පෙර ද්‍රවිඩ සන්ධාන හා ජවිපෙ සාධක ඉවත් කළ විට තත්ත්වය වඩා සරල වේ.

සමීකරණයෙන් ද්‍රවිඩ සන්ධාන සාධකය ඉවත් කිරීම ඉතා පහසුය. ඔවුන්ට තනිකරම වාගේ තිබෙන්නේ ප්‍රාදේශීය ඡන්ද පදනමක් නිසා මේ ඡන්ද කිසියම් ප්‍රමාණයකින් වෙනස් වූවා කියා ඔවුන්ට වෙනත් ප්‍රදේශ වලින් ජයග්‍රහණ හිමි වන්නේ හෝ ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි තැන් වලදී පරාජය වන්නේ නැත. ඒ නිසා, අපට ඉතා පහසුවෙන්ම ඔවුන්ගේ කොටස ඉවත් කර ඉතිරි කොටසට අවධානය යොමු කළ හැකිය.

පසුගිය මහ මැතිවරණයේදීද ද්‍රවිඩ සන්ධානය ඉක්මවා ඡන්ද ලබාගත් ජවිපෙ විසින් මෙවර තරමක් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි සිතිය හැකිය. සමානුපාතික නියෝජන ක්‍රමය හේතුවෙන් ඔවුන් ලබන ඡන්ද අනුපාතයට ආසන්න ලෙස සමානුපාතික මන්ත්‍රී ධුර ගණනක්ද ජවිපෙ විසින් ලබාගනු ඇත. එහෙත්, ඔවුන්ට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්නට ලැබෙන්නට ඇති ඉඩකඩ ඉතාම අවමය.

ජවිපෙ විසින් ඉතිහාසයේදී 9% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මුල් තැනට එන්නට පවා සමත්වී තිබේ. ප්‍රාදේශීය සාධක හෝ වෙනත් කරුණක් නිසා යම් හෙයකින් මෙවර ජවිපෙ කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටවන්නට සමත් වූවද ඒ හේතුවෙන් ලංකාවේ ජාතික දේශපාලන බලතුලනයේ මහා ලොකු වෙනසක් සිදු වන්නේ නැත.

ජවිපෙ හා ද්‍රවිඩ සංවිධාන සාධක ඉවත් කළ විට ඉතිරි වන්නේ එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස යන ප්‍රධාන දේශපාලන බලවේග තුනයි. මීට අමතරව නුවරඑළියේදී හා නැගෙනහිරදී සුළු ජාතික දේශපාලන පක්ෂ විසින් කරනු ඇතැයි සිතිය හැකි බලපෑම ගැන කතා කරන්නට අප කාලය මිඩංගු කරන්නේ නැත.

එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස අතර ඡන්ද බෙදීයාමට ඉඩ ඇති ආකාරය පුරෝකථනය කිරීම සරල කටයුත්තක් නොවේ. එහෙත්, අලුත් මැතිවරණ ක්‍රමය අනුව සිදු විය හැකි විවිධ ආකාරයන්හි ඡන්ද බෙදීම් අවසන් ප්‍රතිඵලයට බලපාන ආකාරය තේරුම් ගැනීම සඳහානම් අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රමය පිළිබඳ තාක්ෂණික දැනුමක් පමණි.

කලින් ලිපියකින්ද පැහැදිලි කළ පරිදි, බලයේ සිටින සෑම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවද මේ මැතිවරණය පවත්වන්නේ ඔවුන්ට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේදීය. මේ වාසිය එජාපයට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජනිසයේ 2015 ඡන්ද පදනම දෙගොඩකට බෙදී තිබීම තුළය.

ලිපියේ පෙර පෙන්වා දී ඇති පරිදි 2015 අගෝස්තුවේදී රටේ වැඩි ප්‍රදේශ ගණනකදී ඉදිරියෙන් සිටියේ එජනිසය වුවත්, එජාපය එජනිසයට වඩා 3.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. මෙයින්ද පැහැදිලි වන පරිදි, එජනිසය ඉදිරියෙන් සිටි බොහෝ තැන් වලදී ඔවුන් ගත් වැඩි ඡන්ද ප්‍රතිශතයට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයක් එජාපෙ ඉදිරියෙන් සිටි තැන් වලදී ඔවුන්ට ලැබී තිබුණේය. මේ වෙනස එළැඹෙන මැතිවරණ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද අඩු කළ විට ඉතිරිවන ප්‍රමාණයට ආසන්නව සමානය. මේ ඡන්ද ලක්ෂ 50 ඇතුළත මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප ඡන්ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. එහෙත්, එජාප ඡන්ද වලට අමතරව පාවෙන ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද මේ ඡන්ද ලක්ෂ පණහ ඇතුළත තිබේ. ඒ නිසා, එජාපයේ සැබෑ ඡන්ද පදනම ලක්ෂ 40ක් පමණ විය හැකිය.

එජාපයට එරෙහිව ඇති ජනප්‍රිය චෝදනා හේතුවෙන් එජාපයේම ඡන්ද ඔවුන්ට අහිමි වෙන්නේ නැත. එහෙත්, ඉතිරි පාවෙන ඡන්ද වලින් යම් ප්‍රමාණයක් එජාපයට අහිමි විය හැකිය. එක පැත්තකින් ජවිපෙ විසින් මේ ඡන්ද වලට කෙළ හලද්දී අනික් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට පහර ගසන්නේ ජවිපෙ වෙත යන්නට නොදී මේ ඡන්ද එජනිසය වෙත රඳවා ගන්නටය.

කෙසේ වුවත්, වැදගත්ම කරුණ වන්නේ 2015 අගෝස්තුවේදී එජනිසය වෙත ආකර්ෂණය වූ පාවෙන ඡන්ද බොහෝ දුරට නාගරික හා අර්ධ නාගරික ඡන්ද මිස ග්‍රාමීය ඡන්ද නොවන බවයි. ඒ නිසා, මේ පාවෙන ඡන්ද වලින් කොටසක් අහිමි වීම එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනමට එතරම් බල නොපායි.

මහා මැතිවරණයේදී එජාපය වැඩිපුරම ඉදිරියෙන් සිටියේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වලදීය. ඒ ප්‍රදේශ වල එජාපය හා එජනිසය අතර විශාල ඡන්ද පරතරයක් තිබුණේය. ඒ නිසා, එජාප ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අඩු වුවත් තව දුරටත් එම ප්‍රදේශ වල ඉදිරියෙන්ම සිටින්නට එජාපයට පුළුවන.

මෙයින් වෙනස්ව, ග්‍රාමීය ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණට ඉදිරියට එන්නටනම් 2015 ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ඔවුන්ට ලබාගන්නට සිදු වේ. එසේ නැත්නම් සිදුවන්නේ ඒ ප්‍රදේශ වල මුල් තැන එජාපයට යාමයි.

එජනිසය 2015 අගෝස්තුවේදී ලබාගත් ඡන්ද විශාල ප්‍රමාණයක් රාජපක්ෂවාදීන්ගේ ඡන්ද වුවත්, ඒ අතර එසේ නොවන සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දද තිබේ. එමෙන්ම, බලය ඇති පැත්තට වැටෙන පාවෙන ඡන්දද යම් ප්‍රමාණයක් ඒ ගොඩේ තිබේ.

අගෝස්තු මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10කින් පමණ අඩු විය. මෙසේ අඩු වුණේ යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වී තිබුණු පාවෙන ඡන්දයි. මහ මැතිවරණයේදී ඒ ඡන්ද වෙනත් කිසිදු පක්ෂයක් වෙත සම්ප්‍රේෂණය වූයේ නැත. ආණ්ඩු පෙරලන මැතිවරණයක් නොවන මේ මැතිවරණයෙදී ඒ ඡන්ද නැවත භාවිතා වනු ඇතැයි සිතිය නොහැකිය.

එජනිස ප්‍රාදේශීය නායකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට සිටින්නේ පොදුජන පෙරමුණ සමඟය. බොහෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් දැන් ශ්‍රීලනිපය ලෙස හඳුනාගන්නේද පොදුජන පෙරමුණයි. එහෙත්, නිල වශයෙන් එජනිසය හා ශ්‍රීලනිපය තවමත් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන භාරයේ වන අතර එම කණ්ඩායම සමඟද ප්‍රාදේශීය නායකයින් යම් කිසි ප්‍රමාණයක් සිටිති.

බොහෝ දෙනෙකු එකඟ නොවන්නේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය වෙත බෙදී යනු ඇත්තේ කෙසේද යන කරුණේදීය. එජනිස ඡන්ද වලින් පොදුජන පෙරමුණ වෙත ලැබෙනු ඇති ප්‍රමාණය පිළිබඳව 50% සිට 95% පමණ දක්වා විවිධ පුරෝකථන ඉදිරිපත් වී තිබේ. කෙසේ වුවත්, හැමදෙනෙක්ම පාහේ එකඟ වන කරුණු වන්නේ එජනිස ඡන්ද වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බව හා එජනිසයද එයින් කිසියම් හෝ ප්‍රමාණයක් ලබා ගන්නා බවයි.

මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වූයේ එජනිස ඡන්ද වලින් 65-80% අතර ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බවයි. එසේ වුවහොත් එජනිසය වෙත ඉතිරි වන්නේ මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් 20-35%ක් පමණ හෙවත් රටේම ඡන්ද වලින් 8%-15% අතර ප්‍රමාණයක් බවයි. ඒ අනුව, එජනිසය ජවිපෙට වඩා ඉදිරියෙන් සිටිනු ඇත.

කෙසේවුවත්, එජනිසය හා පොදුජන පෙරමුණ අතර ඡන්ද බෙදීයන ආකාරයේ විශාල ප්‍රාදේශීය විෂමතා දකින්නට හැකි වනු ඇත. ඇතැම් ප්‍රදේශ වලදී එජනිසය ජවිපෙටද වඩා පසුපසට වැටෙන්නට මෙන්ම මුල් තැනටම වුවද පැමිණෙන්නට ඉඩ තිබේ. එහෙත්, එජනිසය විසින් තනිව ප්‍රාදේශීය සභාවක බලය පිහිටුවීමට විශාල ඉඩක් නැත.

ද්‍රවිඩ සන්ධානය විසින් ජයග්‍රහණය කරනු ඇති ප්‍රදේශ හැරුණු විට ඉතිරි පෙදෙස් වල පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණෙනු ඇත්තේ එජාපය හෝ පොදුජන පෙරමුණයි. පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කරන්නට ඉඩ ඇති බල ප්‍රදේශ ගණන තීරණය වෙන්නේ ඔවුන් විසින් ආකර්ෂණය කර ගන්නා එජනිස ඡන්ද ප්‍රතිශතය මතය.

පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය මහා මැතිවරණයේ ප්‍රතිශතයමනම් එජාපය හා පොපෙ අතර පළාත් පාලන ආයතන බෙදී යනු ඇත්තේ 41-42%: 47-48% වැනි අනුපාතයකටය. එහෙත්, එය එසේ වන්නට වැඩි ඉඩක් නැත.

පොදුජන පෙරමුණ විසින් අගෝස්තු ඡන්ද වලින් 90%ක් පමණක් ලබාගත්තොත් ඉහත අනුපාතය 53-54% : 35-36% ලෙසත්, මෙය අගෝස්තු ඡන්ද වලින් 80% මට්ටමට වැටුණොත් 66-67 : 22-23% ලෙසත් වෙනස් වනු ඇත. පොදුජන පෙරමුණ 70% මට්ටමට වැටුණහොත් ඉහත අනුපාතය 73-74%: 15-16% ලෙස තවදුරටත් වෙනස් වේ.

දැනට ඡන්දය භාවිතා කර අවසන් හෝ තීරණය කර අවසන් අය දෙස බැලූ විට පෙනෙන්නේ මෙවර රැල්ල තිබෙන්නේ ආණ්ඩුවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට බවයි. රැල්ල ගහන්නේ එජාපයට හා එජනිසයට අවාසිදායක හා පොදුජන පෙරමුණට හා ජවිපෙට වාසිදායක ලෙසටය. මේ තත්ත්වයට මෛත්‍රීපාල සිරිසේනගේ අවසන් සති දෙක තුනේ ක්‍රියාකාරීත්වයද බලපා ඇත.

දැනට ඡන්දය ප්‍රකාශ කර අවසන්ව සිටින්නේ මැතිවරණ රාජකාරි වල නියැලෙන රජයේ නිලධාරීන් හා ආරක්ෂක හමුදා /පොලීසි වල පිරිස්ය. රටේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව මේ කණ්ඩායමේ "රාජපාක්ෂික භාවය" කොහොමටත් වැඩිය. මේ අය අතරින් ඇතැම් අය පසුගිය ප්‍රධාන මැතිවරණ දෙකේදී රාජපක්ෂලාට එරෙහිව ඡන්දය පාවිච්චි කළත් ඔවුන් බොහෝ දෙනෙකුට මහින්ද රාජපක්ෂ යනු තවමත් වීරයෙකි. රාජ්‍ය සේවකයින්ට මෙන්ම ආරක්ෂක හමුදා හා පොලීසි වල සාමාජිකයින්ටද මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග එතරම් දිරවන්නේ නැති වන්නට හේතු තිබේ. ඒ නිසා, දෙවසරකට පෙර යහපාලනය වෙත ආකර්ෂණය වුනු ඡන්ද වලින් යම් කොටසක්, විශේෂයෙන්ම තැපැල් ඡන්ද, මෙවර පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එහෙත්, මේ තත්ත්වය මේ කුලකයට සුවිශේෂී තත්ත්වයක් මිස රටටම පොදු තත්ත්වයක් නොවේ.

ලංකාවේ ඡන්ද භාවිතා වීමේදී බලය ඇති පැත්තට රැල්ල කැරකීම ඉතා සාමාන්‍ය තත්ත්වයකි. පසුගිය මහ මැතිවරණයට පෙර රාජපක්ෂවාදීන්ට "ජනාධිපතිවරයාගේ අයිතිය" අවශ්‍ය වුණේ ඒ නිසාය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් මොහොතේ විවෘත ලිපියක් ලියමින් තමන් සිටින්නේ එජාපෙ සමඟ බව සංඥා කිරීම නිසා රාජපක්ෂවාදී කණ්ඩායමේ සැලසුම් ව්‍යවර්ථ විය.

මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන සිටින්නේ වෙනම උපාය මාර්ගයකය. ඔහු එජාපයට දිගට හරහට පහර දෙයි. එහෙත්, එජාපය ප්‍රති ප්‍රහාර එල්ල කරනු නොපෙනේ. ඇතැම් අය මෙය යහපාලන කණ්ඩායමේ සැලසුමක් ලෙස දකිති. තවත් අය සැබෑ ගැටුමක් ලෙස දකිති. මෙය ආරම්භ වූයේ කෙළෙසකින් වුවත් මේ වන විටනම් ගැටුම එජාපයට අවාසිදායක වන තරමට දුරදිග ගොස් තිබේ. එජාපය මේ ප්‍රහාර හමුවේ ජනාධිපතිවරයාට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන්නේ ජනාධිපතිවරයා දැන් මොනවා කිවුවත් ඇත්තටම සිටින්නේ තමන්ගේ පිලේ බව ඡන්දදායකයින්ට ඇඟවීම ඔවුන්ට වාසිදායක නිසාය.

එජාපය හා එජනිසය වෙනවෙනම මැතිවරණයට ඉදිරිපත් වීම තුළ තිබුණේ එජාපයේ ගේමකි. මේ ගේම අපේක්ෂිත පරිදිම ඉදිරියට ඇදුනානම් මැතිවරණය අවසන් වන්නේ එජාපයට විශාල ජයග්‍රහණයක් ලබා දෙමිනි. එසේ වූවානම්, මැතිවරණය අවසන් වන විට මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් බවට පත් විය හැකිව තිබුණි.

ගැටුම මෙතරම් දුරදිග නොගොස් එජාපය හා එජනිසය වෙනවෙනම තරඟ කිරීම පමණක් සිදු වූවානම් රටේ ඡන්දදායකයින් මේ කණ්ඩායම් දෙක හඳුනාගන්නේ බලය ඇති කණ්ඩායමේ සංරචක දෙකක් වශයෙනි. යහපාලන ගොඩේ සිටි එජාප සාමාජිකයින් කොහොමටත් එම පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති අතර පාවෙන ඡන්දදායකයින් බොහෝ විට එජනිසය වෙත ඡන්දය භාවිතා කළ හැකිව තිබුණේය. ඒ ඔවුන්ට අලියාගෙන් ගන්නට වැඩ තිබෙන අතරම අලියාව පාලනය කළ හැකි හොඳ හෙණ්ඩුවක්ද අවශ්‍යව තිබෙන බැවිනි.

යහපාලන ඡන්ද කුට්ටියට ජවිපෙද ඉව අල්ලමින් සිටියේය. මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට ප්‍රහාර ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ මේ ඡන්ද ජවිපෙන් ආරක්ෂා කර ගැනීමයි. දෙවන අරමුණ වූයේ එජනිස ඡන්ද එජාප විරෝධී පොදුජන පෙරමුණ වෙත යා නොදී රැක ගැනීමයි.

ඉහත සැලසුමෙන් එජාපයට විශේෂ වාසියක් තිබුණේ නැත. එජාප ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ යහපාලන ඡන්ද පොදුජන පෙරමුණ වෙත නොයාම හා එජනිස ඡන්ද සියල්ලම පොදුජන පෙරමුණ වෙත නොයාම පමණි. මෙය ළඟා කර ගැනීමට අසීරු ඉලක්කයක් වූයේ නැත.

මෛත්‍රීපාල සිරිසේන දැන් කියන්නේ එජාපයේ සිටින්නේත් හොරු බවත්, හොරු අල්ලන්නට බැරි වුණේ එජාපය නිසා බවත්ය. එහෙත්, මේ ප්‍රකාශය නිසා ඔහුගේ ඡන්ද කිසිසේත්ම වැඩිවෙන්නේ නැත. මේ ප්‍රකාශ නිසා ඡන්දදායකයින්ට ඒත්තු යන්නේ ආණ්ඩුව ඇතුළේ එජනිසයට බලයක් නැති බවයි. බලය තිබෙන්නේ එජාපය සතුව බවයි. මේ සමඟම සිදුවන්නේ ආණ්ඩු බලය නිසා එජනිසයට ආකර්ෂණය විය හැකිව තිබුණු ඡන්ද නොලැබී යාමයි.

ඒ සමඟම යහපාලනය සමඟ සිටි පාවෙන ඡන්ද වලටද මේ ප්‍රකාශ හරහා කරන්නේ නිශේධනාත්මක බලපෑමකි. ඔවුන්ගේ පැත්තෙන් බැලූ විට, ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ආණ්ඩුව හොරු අල්ලා නැති අතර ඊටත් වඩා ලොකු හොරකම් කර තිබේ. දෙගොල්ලන්ම හොරු බව පැත්තකින් තිබ්බොත් රාජපක්ෂලා මොනවා හරි දෙයක් කරයි. මේ ආණ්ඩුව පතෝලය. බොහෝ ග්‍රාමීය ඡන්දදායකයින්ගේ ඇසින්, මෛත්‍රීපාලට එජාපයට එරෙහි වන්නට තරම් හැකියාවක් නැති අතර ඒ හැකියාව තිබෙන්නේ රාජපක්ෂලාටය. අවසාන වශයෙන් මෛත්‍රීගේ ප්‍රහාර හේතුවෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ ඡන්ද ඉහළ ගොස් (අඩුවෙන් පහළ ගොස්) එජාප ඡන්ද පහළ යාමයි. ඒ හැර, එජනිස ඡන්ද වැඩිවීමක්නම් සිදුවන්නේ නැත.

අවසන් සති කිහිපයේ සිදුවූ මේ බලපෑම් තිබුණත්, එජාපයට තවදුරටත් පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක බලය පිහිටුවන්නට අසීරු නොවනු ඇති නමුත් පොදුජන පෙරමුණටද සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබෙනු ඇත. එජනිසයේ ඡන්ද වැඩි නොවූවත්, ප්‍රධාන බලවේග අතර වෙනස අඩු වීම නිසා එජනිසයට වැඩි ආයතන ගණනක තීරක බලය ලැබෙනු ඇත. ඒ තීරක බලයේ වාසිය ලබමින් පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණි, එහෙත් බහුතරය නොලැබූ පළාත් පාලන ආයතන කිහිපයකද එජාපය හා එජනිසය එක්ව බලය පිහිටුවන්නට ඉඩ තිබේ. එනයින් බලන විට, මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රහාර වලින් අවසාන වශයෙන් ඔහුට සිදුවනු ඇත්තේ වාසියකි.

මේ කිසිවක් අනාවැකි නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස මට හිතෙන හැටි පමණි. හරියටම වෙන්නේ කුමක්ද කියා දින තුනකින් බලාගත හැකි වනු ඇත.

Tuesday, February 6, 2018

කොටු පනින කයෝටි හා අවජාතක කෝයිවෘකයෝ


අපේ ගෙවල් ඉසවුවේ කරක් ගසමින් සිටි කයෝටියෙක් ගැන අසල්වැසියෙක් විසින් මාස කිහිපයකට පෙර අපේ නිවාස හිමියන්ගේ සංගමයේ වත්පොත් පිටුවේ පළ කර තිබුණු නිවේදනයක් ගැන කලින් ලිපියකින් මම කිවුවෙමි. මේ නිවේදනය පළවීමෙන් පසු ගත වූ මාස කිහිපය තුළ තවත් අය විසින්ද එවැනිම නිවේදන මේ වත්පොත් පිටුවේ පළ කළේය. මේ අනුව, රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තේ කයෝටියන් කැරකෙන බව ඉතා පැහැදිලිය.

කොහොම වුනත්, කයෝටියන් නේවාසික පෙදෙස් වල ගැවසෙන එකේ විශාල අවදානමක් නැත. කයෝටියන් මිනිසුන්ට පහර දෙන්නේ නැත. එහෙත්, කයෝටියෙකු විසින් කොයි වෙලාවක හෝ නිවසක ඇති කරන සුරතල් සතෙකුටනම් වැඩේ දෙන්නට ඉඩක් තිබේ. අනෙක් අතට, මේ කයෝටීන් යම් හෙයකින් ගෙවල් වල කුණු බක්කි වලට පුරුදු වුවහොත් එය දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙයි.

ඉවත ලූ මාංශමය ආහාර කොටස් නොඅඩුව ඇති, ගෘහස්ථ කුණු දමන බක්කි සාමාන්‍යයෙන් එළියේ තියන්නේ සතියේ කුණු එකතු කරන දවසේ පමණක් වුවත් උදේ පාන්දර කුණු බක්කිය පාර අයිනට තල්ලු කරනවා වෙනුවට රෑ නින්දට යාමට පෙර එය ඒවා පාර අයිනේ ස්ථානගත කිරීම අපද ඇතුළු බොහෝ දෙනෙක් කරන දෙයකි. මෙවැනි දවසක අහම්බෙන් අපේ ගෙවල් පැත්තට එන කයෝටියෙකුට මේ කුණු බක්කි වල ඇති ආහාර ගැන ඉව වැටෙන්නටත්, පසුව එය පුරුද්දට යන්නටත් බැරිකමක් නැත. එහෙම වුනොත්, දිගුකාලීනව එය ප්‍රශ්නයකි. වත්පොත් පිටුව හරහා අපේ ඇතැම් අසල්වැසියන් මේ කරුණ ගැන අවධානය යොමු කර තිබුණේය.

පසුගිය සතියේ දිනෙකත් ඉහත වත්පොත් පිටුවේ අපේ අසල්වැසියෙකු විසින් පාන්දර ජාමයේ දුටු කයෝටියෙකු ගැන විස්තරයක් තිබුණේය. මේ නිවේදනය පළකළ තැනැත්තියට අනුව ඇය විසින් දැක තිබුණේ ශරීර ප්‍රමාණයෙන් සාමාන්‍ය කයෝටියෙකුට වඩා බොහෝ විශාල තරමක් අසාමාන්‍ය කයෝටියෙකි. මේ නිවේදනය වත්පොත් පිටුවේ පළවී දිනකට හෝ දෙකකට පසු, වෙනත් අසල්වැසියෙකු විසින් එයට ප්‍රතිචාරයක් ලෙස අපේ නගරයේ ප්‍රාදේශීය පුවත්පතක පළවූ ලිපියක සබැඳියක් පළ කර තිබුණේය.

ඉහත පුවත්පත් වාර්තාවට අනුව, අපේ නගරයේ කෝයිවෘකයින් සිටින බවට සැක පහළව තිබේ.

කෝයිවෘකයෙකු යනු කොටළුවෙකු මෙන් දෙමුහුන් සතෙකි. අශ්වයින් හා බූරුවන් අතර සංසර්ගයෙන් කොටලුවන් හැදෙන අයුරින්, වෘකයින් හා කයෝටියන් අතර සංසර්ගයෙන් කෝයිවෘකයින් බිහි වේ. කෝයිවෘකයෙකු ශරීර ප්‍රමාණයෙන් රාත්තල් සීයක් පමණ විශාල විය හැකි අතර ඔවුහු මිනිසෙකු දුටු විට කයෝටින් මෙන් සැඟව පලා නොයති. එකම පූර්වජයෙකුගෙන් පැවත එන වෘකයින් හා කයෝටියන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් ලෙස වෙන් වී වැඩි කලක් නැති නිසා තවමත් ඔවුන්ට එක්ව දරුවන් බිහිකළ හැකිය.

සාමාන්‍යයෙන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් අතර සිදුවන සංසර්ගයකින් පසු බිහිවන කොටළුවන් වැනි සතුන්ට සරු ජනිතයින් බිහි කළ නොහැකිය. එසේ වුවත්, කෝයිවෘකයින්ට ඒ හැකියාවද තිබේ.

මුල් නිවේදනයට ප්‍රතිචාරයක් ලෙස ඉහත පුවත්පත් වාර්තාව අවධානයට ලක් කිරීමෙන් පසුව මුල් සටහන දැමූ තැනැත්තිය විසින් මෙසේ ලියා තිබුණේය.

"මම දැක්කේ කෝයිවෘකයෙක් වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේදී වෘකයෙකු හමුවිය හැකි බව දැන නොසිටි නිසා මම හිතුවේ මා දුටුවේ ලොකු කයෝටියෙක් කියලයි!"

දින දෙක තුනකට පෙර ප්‍රාන්ත රජයේ වනජීවී නිලධාරීන් විසින් නිවේදනය කර තිබුණේ අපේ ප්‍රාන්තයේ කෝයිවෘකයින් සිටින බව තහවුරු වී නැති බවත්, එය සහතික කළ හැක්කේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් පසුව පමණක් බවත්ය. ආණ්ඩු වලින් කොහොමත් කියන්නේ ඔය වගේ කතාය.

අපේ ගෙවල් පැත්තේ කයෝටින් ගැවසෙන බව ස්ථිර වුවත්, කෝයිවෘකයින් සිටින්නේද යන්න ස්ථිර නැත. එසේ සිටින්නේනම්, මාස කිහිපයකට පෙර මා අපේ ගෙවල් ආසන්නයේ ඇති ස්වභාවික රක්ෂිතයේ දරුවකු සමඟ ඇවිදිද්දී හමු වූ අඩිසලකුණු අතර වුවද කෝයිවෘකයෙකුගේ අඩි සලකුණු තිබුණා වන්නට වුවත් බැරිකමක් නැත.

අප බොහෝ විට දකින්නේ යම් මොහොතක, යම් තැනක තිබිය හැකියැයි අප විශ්වාස කරන දේවල් පමණි. අපේ ගෙවල් පැත්තේ කෝයිවෘකයින් සිටිය හැකි බව දැන නොසිටි අසල්වැසියා ලොකු කයෝටියෙකු දැක්කේ එබැවිනි. ඒ  ඇත්තටම ලොකු කයෝටියෙකු වන්නට මෙන්ම කෝයිවෘකයෙකු වන්නටද පුළුවන.

ස්වභාවික රක්ෂිතයේ ඇවිදිද්දී හමු වූ අඩි සලකුණු කයෝටියෙකුගේ බව මගේ දරුවා විසින් හඳුනා ගත්තේ ඒ ප්‍රදේශයේ කයෝටියන් ගැවසෙන බව ඔහු දැන සිටි නිසාය. ඔහු නැතිව මා තනියම එහි ඇවිදින්නට ගියේනම් මා ඒවා හඳුනා ගන්නේ බල්ලෙකුගේ අඩි සලකුණු ලෙසිනි. එසේ වූවානම්, මේ සටහන් දෙක තුන ලියවෙන්නේ නැත.

(Image: https://www.smithsonianmag.com/smart-news/coywolves-are-taking-over-eastern-north-america-180957141/)

Monday, February 5, 2018

හැත්තෑ වසරක් පරණ පොල්කට්ට


ලංකාව නිදහස ලබා වසර හැත්තෑවක් ගත වී තිබේ. ඒ 1948 වසරේ සිට ගණන් කළ විටය. එහෙත්, 1948දී ලංකාවට නිදහසක් ලැබුණු බව නොපිළිගන්නා බොහෝ දෙනෙක්ද සිටිති. ඇතැම් අය හිතන පරිදි නිදහස ලැබුණේ 1972දීය. තවත් අය හිතන්නේ ලංකාවට තවමත් නිදහස ලැබී නැති බවයි. ජනාධිපති සිරිසේනගේ නිදහස් දින කතාවට අනුවනම් නිදහස ලැබී ගත වී ඇත්තේ අවුරුදු තිහක් පමණි. නිදහස ලැබුණේ 2009දී යැයි සිතන අය මෙන්ම 2015දී යැයි සිතන අයත් සිටිති.

වඩාත්ම ප්‍රචලිත ව්‍යවහාරය අනුව යමින් නිදහසට අවුරුදු හැත්තෑවක් ලෙස සැලකුවොත් මේ අවුරුදු හැත්තෑව තුළ ලංකාව විසින් අත්කරගෙන තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන බොහෝ දෙනෙක් සතුටු වන්නේ නැත. ඇතැම් අය කියන විදිහට නිදහසින් පසුව මාරුවෙන් මාරුවට ආණ්ඩු කළ එජාප හා ශ්‍රීලනිප යන "ධනපති" පක්ෂ දෙක විසින් කර තිබෙන්නේ රට ආර්ථික අගාධයකට ඇද දැමීමයි.

පළමුවෙන්ම, නිදහසෙන් පසු ලංකාවේ කවදාවත්ම ධනවාදයක් ක්‍රියාත්මක වී නැත. ඇතැම් ආණ්ඩු යටතේ මිනිසුන්ගේ නිදහස් ගණුදෙනු සඳහා වන බාධාවන් යම් තරමකින් ඉවත් කර තිබුණත්, පසුගිය අවුරුදු හැත්තෑව තුළ ලංකාවේ දේශපාලනය කෙරෙහි සමාජවාදී ආකෘතිය හා මාක්ස්වාදී ඉගැන්වීම් වලින් කර ඇති බලපෑම් අති විශාලය. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කර ඇත්තේත්, අඩුවැඩි වශයෙන් තවමත් කරන්නේත් රාජ්‍ය යාන්ත්‍රණය වඩා පුළුල් කරමින් මිනිසුන්ගේ නිදහස් ආර්ථික ක්‍රියාකාරකම් වලට බාධා පැමිණවීමයි.

දෙවනුව, ලංකාවේ තත්ත්වය තිබිය හැකි හොඳම තත්ත්වය නොවූවත්, නිදහසින් පසු ලංකාව විසින් සැලකිය යුතු තරමේ ආර්ථික ජයග්‍රහණ අත්කරගැන නැතැයි කිසිවකුට කිව නොහැකිය. විශේෂයෙන්ම 1977න් පසුව මේ තත්ත්වය කැපී පෙනේ.

රාජ්‍ය පාලනයේ කවර දුර්වලතා මධ්‍යයේ වුවත්, පසුගිය දශක කිහිපය තුළ රටේ ඒක පුද්ගල ආදායම කිහිප ගුණයකින් වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵල රටේ පහළම ස්ථර දක්වාම කාන්දු වී තිබේ. ඈත ගම් දනවු වල පවා "පිදුරු සෙවි(ලි) කළ පැල්පත්" අද දකින්නට නොලැබෙන අතර පවතින අධික ආනයනික බදු යටතේ වුවත් මෝටර් සයිකලයක් හෝ ත්‍රිරෝද  රථයක් මිල දී ගන්නට සමත්ව සිටින නිවාස ඒකක ගණන අති විශාලය. විදුලි බලය හෝ රූපවාහිනී යන්ත්‍රයක් නොමැති නිවසක් ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. මන්ද පෝෂණයෙන් පෙළෙන, නෙරාගිය බඩවල් සහිත කෘෂ සිරුරු වෙනුවට අද අවට බැලූ විට දකින්නට ලැබෙන්නේ ඉහළ යන ස්ථුලතාවයයි. දියවැඩියාව හා අධි රුධිර පීඩනය තවදුරටත් "පොෂ් ලෙඩවල්" නොවේ. දැන් අලුත් ඇඳුමක් කියන්නේ අවුරුද්දකට වරක් සිංහල අවුරුදු කාලයේදී පමණක් ලැබෙන දෙයක් නොවේ.

ඇතැම් රටවල් විසින් ස්වභාවික සම්පත් වලින් ආදායම් උපයා ධනවත් වී ඇතත් සාමාන්‍යයෙන් රටවල් ධනවත් වීම නිසා රටවැසියන් ධනවත් වන්නේ නැත. සිදුවන්නේ රටවැසියන් ධනවත් වීම නිසා රටවල් ධනවත් වීමයි. රටවැසියන් ධනවත් වන්නේ ඔවුන්ට ධනවත් වන්නට ඉඩ සැලසෙන තරමටය. එසේ ඉඩ සැලසුවද, රටේ සෑම දෙනෙකුම ධනවත් වන්නේ නැතත් කාලයත් සමඟ රටේ සීමිත පිරිසක් විසින් උපයන ධනය පහළ ස්ථර වෙතද සම්ප්‍රේෂණය වේ.

රටක ධනය උපයන පිරිස් වලට බාධා පැමිණවූ විට හා ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් උදුරාගෙන වෙනත් අයට ලබා දෙමින් සමාජ සාධාරණත්වය කෘතීම ලෙස ඇති කරන්නට උත්සාහ කළ විට අවසාන වශයෙන් සිදුවන්නේ රටක ආර්ථික වර්ධනය ක්‍රමක්‍රමයෙන් බාල වීමයි. විශාල ආණ්ඩු ඇති රටවල බොහෝ විට සිදුවන්නේ එයයි.

ලංකාවේ ආණ්ඩුව විශාල කිරීම සඳහා මුල් වූයේ ඉංග්‍රීසීන්ය. රටේ සංස්කෘතියට ආගන්තුක වෙනත් සංස්කෘතියක් පිටින් රැගෙන ආ ඔවුන්ට රටවැසියන්ගේ ලොකු සහයෝගයක් නැතිව ආණ්ඩු කිරීම සඳහා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍ය විය. යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ සාමාන්‍ය පවුලක එදිනෙදා ජීවිතය හෝ ආර්ථික කටයුතු කෙරෙහි රජුගෙන් හෝ රාජ්‍ය යාන්ත්‍රණයෙන් විශාල බලපෑමක් වුණේ නැත. එහෙත්, ඉංග්‍රීසි ආණ්ඩුවේ බලපෑමෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට ඒ තරම් පහසුවෙන් ගැලවෙන්නට නුපුළුවන් විය.

යුරෝපීය පාලකයින් රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවද්දී ලංකාව සැලකිය යුතු ආර්ථික හා සමාජයීය ප්‍රගතියක් අත් කරගත් බව සැබෑවකි. එහෙත්, ඔවුන් නොපැමිණියානම් තවමත් ලංකාවේ තිබෙන්නේ රජෙකුගේ පාලනයක්යැයි සිතීම මුලාවකි. යුරෝපීයන් ලංකාව පාලනය කළ සියවස් ගණනක කාලය තුළ ලෝකයේ වෙනත් රටවල සිදුවූ ආර්ථික, සමාජයීය හා දේශපාලනික වෙනස්කම් වලට සමගාමීව අනිවාර්යයෙන්ම ලංකාවේද වෙනස්කම් සිදු විය හැකිව තිබුණේය. ඒ නිසා, සුද්දන් නිසා ලංකාවට ලැබුණු යටිතලපහසුකම් ආදී භෞතික සම්පත් මෙන්ම රටේ සිදු වූ භෞතික නොවන සමාජයීය හා සංස්කෘතික වෙනස්කම්ද සුද්දන් රට පාලනය නොකළේනම් කිසිසේත්ම සිදු නොවිය හැකිව තිබුණු බව අපට කිව නොහැකිය.

ඉංග්‍රීසි ආණ්ඩුව අතින් පීඩාවට පත් වුණු බොහෝ ලාංකිකයින් සිතුවේ එයට හේතුව රජය ඉංග්‍රීසින්ගේ වීම බවයි. ඒ නිසා, ලංකාවට නිදහස ලැබීමේ නාමයෙන් සිදුවුණේ ඒ රජය මෙහෙයවන ආණ්ඩුවට ඉංග්‍රීසින් වෙනුවට ලාංකිකයින් පත් කර ගනු ලැබීමයි. එහෙත් සැබෑ ප්‍රශ්නය ඉංග්‍රීසින් නොව රජය නිසා ආණ්ඩුවේ ඔළුගෙඩි මාරු වූ පමණින් ලාංකිකයින්ට නිදහස ලැබුණේ නැත. ඉන් පසුව, අද දක්වාත් නැවත නැවතත් කෙරෙමින් පවතින්නේ මේ ආණ්ඩුවේ ඔළුගෙඩි මාරු කිරීමයි. ඒ අතර, බොහෝ විට සිදුවුණේ රජය එන්න එන්නම ප්‍රසාරණය වීමයි.

රජයෙන් නිදහස් වන්නට බොහෝ ලාංකිකයින්ට තවමත් අවශ්‍ය නැත. රජය ගැන අසතුටුව, රජයට බණිමින් ජීවත්වන අතරම ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්නයට විසඳුම් හොයන්නේද රජයෙන්මය. ඒ නිදහසෙන් පසු දිගින් දිගටම ලංකාව පාලනය කරන්නේ සමාජවාදී මතවාදය විසින් බැවිනි. මේ තත්ත්වය යාන්තමින් වෙනස්වන්නට පටන්ගෙන තිබෙන්නේ සමාජමාධ්‍ය වල ව්‍යාප්තියත් සමඟය.

පසුගිය අවුරුදු හැත්තෑව තිස්සේ ලංකාව පාලනය කර ඇත්තේ එජාපය හා ශ්‍රීලනිපය විසින් කියා කිවුවත් එය අර්ධ සත්‍යයක් පමණි. පළමුව, මාක්ස්වාදය විශ්වාස කරන්නන්ගේ පක්ෂ මේ බොහෝ ආණ්ඩුවල හවුල්කරුවන්ව සිටිමින් කර ඇති බලපෑම ඉතා විශාලය. දෙවනුව, ආණ්ඩුවෙන් පිටත සිටීමෙන් බලපෑම් කළ මාක්ස්වාදීන්ට ඔලුව නමන්නට ලංකාවේ බොහෝ ආණ්ඩු වලට සිදුවී තිබේ. තෙවනුව, දේශපාලකයින් අතළොස්ස හැරුණු විට ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම වාගේ සමන්විතව සිටින රාජ්‍ය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සමාජවාදී ක්‍රමයට හිතන්නට පුරුදු වූ අයයි. නිදහස් අධ්‍යාපනය හරහා මෙන්ම ඊටත් වඩා වැඩියෙන් කලාව හා මාධ්‍ය හරහා කෙරෙන්නේ ලෝකයේ කොහේවත් සාර්ථක නොවූ, මාක්ස්ගේ හිතළු මත පදනම් වූ සමාජවාදී ආගමික අදහස් ප්‍රචලිත කිරීමයි.

ලෝකයේ වෙනත් රටවලදී මෙන්ම ලංකාවේදීද මාක්ස්වාදීන්ට ජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගැනීම හෝ බලය පවත්වා ගැනීම අසීරුය. ලංකාවේ මාක්ස්වාදී පක්ෂ හරහා දේශපාලන පුහුණුව ලැබූ බොහෝ දෙනෙකු අවසාන වශයෙන් නැවතී ඇත්තේ එජාපයේ හෝ ශ්‍රිලනිපයේය. මෙවර මැතිවරණයේදී ජවිපෙ වැනි පක්ෂ වලින් අලුතින් තේරීපත් වන ග්‍රාමීය නායකයින් විශාල පිරිසක්ද දශක ගණනක් පසු වී හෝ අවසාන වශයෙන් නවතිනු ඇත්තේ එජාපයේ හෝ ශ්‍රිලනිපයේය.

මාක්ස්වාදී දේශපාලනයෙන් පටන්ගෙන ඉදිරියට එන නායකයින් අන්තිමේදී එජාප හා ශ්‍රීලනිප වැනි බලය ලබා ගැනීමේ ශක්‍යතාවයක් ඇති පක්ෂ වල නතර වීම ඔවුන්ගේ මුල් පක්ෂ වල දිගටම රැඳෙනවාට වඩා බොහෝ විනාශකාරීය. ඔවුන් පක්ෂ මාරු කළත් ඔවුන්ගේ මාක්ස්වාදී මුල් මුළුමනින්ම සිඳෙන්නේ නැත. පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ වල දෙවන පෙළ නායකයින් වී ඇති මෙවැනි පුද්ගලයින් අතින් ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල කරවන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම ඉඳහිට සිදුවන්නක් නොවේ.

ඇතැම් අය "විද්‍යාත්මක" යැයි සිතා සිටියත් කිසිදිනෙක පර්යේෂණාත්මකව තහවුරු කර නැති මාක්ස්ගේ ප්‍රවාද වල තිබෙන ලොකුම අඩුපාඩුව වන්නේ නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ ඇති වැදගත්කම නොසලකා හැරීමයි. මාක්ස්වාදීහු භාණ්ඩයක් නිෂ්පාදනයේදී සිදු කෙරෙන අගය එකතු කිරීම ඒ වෙනුවෙන් යොදවන ශ්‍රමයට ඌණනය කරති. ප්‍රාග්ධනය යනු පරිභෝජනය කිරීම මඟින් ක්ෂය කර දමනු නොලැබූ ශ්‍රමයම බව තේරුම් නොගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ තමන් සතු සම්පත් හැකි වහාම පරිභෝජනය කර ක්ෂය කර දමමින්, එසේ නොකර ප්‍රාග්ධනය එක් රැස් කරගන්නා අයගේ වස්තුවට ඊර්ෂ්‍යා කරන හා කෙළ හළන පිරිසකි. එහෙත්, මාක්ස්වාදීන් විසින් හැමවිටම වාගේ පරිභෝජනවාදය ගැන කතා කරන්නේ ධනවාදය සමඟ සම්බන්ධ කරමිනි.

දැන් ක්‍රමයෙන් අභියෝගයට ලක්වෙමින් පැවතියත් නිදහස ලැබීමේ සිට ලංකාවේ මතවාදී ආධිපත්‍යය උසුලන මාක්ස්වාදී චින්තනය විසින් ප්‍රචලිත කරන අදහස අනුව ප්‍රාග්ධනය එක් රැස් කිරීම පවකි. මෙහි ප්‍රතිඵලය වන්නේ හැකිතරම් අඩුවෙන් වැඩකර, ණය ගනිමින් හෝ වැඩියෙන් පරිභෝජනය කරන පරිභෝජනවාදීන් පිරිසකි. මේ මතවාදය රට කරවන්නන් වෙතද කාන්දු වූ විට රටේ ආර්ථිකය මෙහෙයවෙන්නේද මේ ක්‍රමයටමය.

මාක්ස්වාදීන්ට අනුව සමාජවාදය බිහිකරන තුරු නිර්ධනයෙකුට කිසිදා ගැලවීමක් නැත. ප්‍රාග්ධනය අහිමි අය පරිභෝජනය සීමා කර තමන් සතු සීමිත සම්පත් ආයෝජනය කරමින් ප්‍රාග්ධනය එක් රැස් කරන්නට පටන් ගත් විට ඉහත ආගමික අදහස තර්ජනයට ලක් වේ. එවිට මාක්ස්වාදීන්ට පැවැත්මක් නැත. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි පුද්ගලයින් පරිභෝජනවාදයේ ගැලී දැනට සිටින තැනම හැමදාම සිටිනවා දකින්නට ඔවුන් කැමතිය. නූතන මාක්ස්වාදී චින්තකයින් කියා කියන අයගේ ඉගැන්වීම් අදහන අලුත් ආගමික නිකායයන් ඇතුළු මාක්ස්වාදී ආගමිකයින්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අය මාක්ස්වාදී පොල්කට්ට අස්සේ හිරකර ගන්නටය.

පුද්ගලයින් විසින් භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම මාක්ස්වාදීන්ගේ ගර්හාවට ලක් වුවත් මානව ප්‍රාග්ධනය සම්බන්ධව ඔවුහු එසේ නොසිතති. ඒ නිසා, පොදු අරමුදල් වැය කරමින් ලබාදෙන අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් මාක්ස්වාදීහු හැමවිටම වාගේ පෙනී සිටිති. රටකට ඉදිරියට යන්නට භෞතික ප්‍රාග්ධනය මෙන්ම මානව ප්‍රාග්ධනයද අවශ්‍ය වන නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක අදහසක් නොවේ. එහෙත්, ලංකාවේ ප්‍රශ්නය වන්නේ එහි ප්‍රමුඛ මතවාදය තුළ මානව ප්‍රාග්ධනය එක් රැස් කරගැනීම වෙනුවෙන් ලබාදෙන වටිනාකම භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම වෙනුවෙන් හෝ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නොලැබීමයි.

ඉහත මතවාදයේ බලපෑම නිසා ලංකාවේ බොහෝ දෙනෙක් මානව ප්‍රාග්ධනය සැලකිය යුතු තරමින් එක්රැස් කරගත්තත්, ඒ මානව ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබාගත හැකි තරමට භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමක් සිදු නොවේ. ඒ නිසා, වෙනත් අයෙකුට ශ්‍රමය විකිණීමෙන් හැර මේ මානව ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජන ගන්නට ඔවුන්ට ඉඩක් නැත. අනෙක් අතට රටේ ව්‍යවසායකත්වය දිරිගැන්වීමක් සිදු නොවන නිසා මානව ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජන ගන්නට අවශ්‍ය පමණ රැකියා ජනනය වීමක්ද සිදු නොවේ. මේ රැකියා හිඟය පුරවන්නට වෙන්නේ රජයටය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ රජය එන්න එන්නම ප්‍රසාරණය වේ. එහි බර ඉහළ යද්දී දිගින් දිගටම රජය විසින් භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් මෙන්ම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමද වඩාත් අසීරු කටයුත්තක් බවට පත්වේ. මානව ප්‍රාග්ධනය එක්රැස් කරගන්නා ලාංකිකයින් විශාල පිරිසක් සෑම වසරකම රටෙන් පිටතට සංක්‍රමණය වීමේ මෙන්ම රැකියා සොයා තාවකාලිකව විදේශගතව සිටින විශාල පිරිසද මේ ප්‍රශ්නයේම පැතිකඩකි.

සමාජවාදීන් විසින් කාලයක් තිස්සේ ප්‍රචලිත කර ඇති මතය හේතුවෙන් ලංකාවේ බොහෝ දෙනෙක් වෙනත් අයට රැකියා ලබා දෙන්නන් දෙස බලන්නේ ශ්‍රමය සූරාකන සමාජ විරෝධීන් කොටසක් ලෙසිනි. මේ නිසා, කිසියම් ව්‍යවසායකත්වයක් ඇති ලාංකිකයින් බොහෝ දෙනෙක් යොමුවන්නේ තමන්ගේම ශ්‍රමය මත පදනම්ව ආදායම් ඉපැයිය හැකි වෘත්තිකයෙකු වීමටය. වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් වීමට මෙන්ම ගායකයින්, නළුවන්, ටියුෂන් ගුරුවරුන් ආදීන් වීමට ලංකාවේ බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ ඒ නිසාය. මෙවැන්නන් ඉහළ ආදායමක් උපයතත්, ඒ වෙනුවෙන් වෙනත් අයගේ ශ්‍රමය "සූරා කන්නේ" නැති නිසා ලංකාවේ ප්‍රමුඛ මතවාදය තුළ ඔවුහු අපරාධකරුවෝ නොවෙති.

කෙසේවෙතත්, සමාජවාදී රටවල් වලින් වෙනස්ව ලංකාවේදී ඉහත ආකාරයේ රැකියා වල නිරත වෙන්නන්ට සාමාන්‍ය පුද්ගලයෙකු උපයනවාට වඩා විශාල ආදායමක් ඉපැයිය හැකි බැවින් ඔවුන් අත ප්‍රාග්ධනය එක් රැස් වේ. වෙනත් බොහෝ පිරිසකට රැකියා සපයන අයෙකු අත ප්‍රාග්ධනය එක්රැස් වූ විට එවැන්නෙකු විසින් කරන්නේ ඒ ප්‍රාග්ධනය සිය ව්‍යාපාරය තුළ ආයෝජනය කරමින් ව්‍යාපාරය පුළුල් කිරීමයි. එවිට තවත් අළුත් රැකියා ජනනය වී ඒ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ පහළ සමාජ ස්ථර වෙතද සම්ප්‍රේෂණය වේ.

තමන්ගේම ශ්‍රමය පමණක් යොදවමින් හෝ ඉතාම සුළු පිරිසකට රැකියා සපයමින් ප්‍රාග්ධනය එක්රැස් කරන වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වැනි අයට තමන් සතු අතිරික්ත ප්‍රාග්ධනය යොදවා සිය ව්‍යාපාරය පුළුල් කරන්නට හෝ රැකියා ජනනය කරන්නට අවකාශයක් නැත. සමාජවාදීන් ලංකාවේ ප්‍රචලිත කරනු ලැබ ඇති මතවාදය නිසා ඔවුන් එසේ බොහෝ දෙනෙකුට රැකියා සැපයිය හැකි වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කර "මුදලාලිලා වෙන්නටද" කැමති නැත. එසේනම්, ඔවුන්ගේ අතිරික්ත ප්‍රාග්ධනයට සිදුවන්නේ කුමක්ද?

මේ අතිරික්ත ප්‍රාග්ධනයෙන් (මෙහිදී අතිරික්ත යන වචනය යොදන්නේ මාක්ස්වාදී අර්ථයකින් නොවේ) සැලකිය යුතු ප්‍රමාණයක් අවසාන වශයෙන් සෘජුව හෝ වක්‍ර ලෙස මූල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය වේ. එහෙත්, ඒ භාණ්ඩ හා සේවා නිපදවන සමාගම් වල කොටස් මිල දී ගැනීම පිණිස හෝ එවැනි සමාගම් විසින් නිකුත් කරන බැඳුම්කර මිල දී ගැනීම සඳහා නොවේ. රජය විසින් නිකුත්කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගැනීම සඳහාය.

මුදලාලිලා වෙන්නට අකැමැති ලංකාවේ බොහෝ වෘත්තිකයින්ගේ මුදල් වලින් විශාල කොටසක් අවසානයේදී යෙදෙවෙන්නේ රජයට ණය ලබා දීම සඳහාය. මෙය ඔවුන් විසින් සෘජුවම කරන ආයෝජන ලෙස හෝ ඔවුන්ගේ තැන්පතු යොදවා බැඳුම්කර මිල දී ගන්නා වාණිජ බැංකු හරහා වක්‍රව සිදුවිය හැකිය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වැනි අතරමැදි සමාගම් මූල්‍ය වෙළඳපොළෙහි සෙල්ලම් කරන්නේද මෙවැනි පාරිභෝගිකයින්ගේ මුදල් වලිනි.

රජයේ විදේශ ණය ගැන අපි වැඩිපුර කතා කළත් රාජ්‍ය ණය වලින් විශාල කොටසක් දේශීය ණයයි. මේ ණය වෙනුවෙන් රජය විසින් පොලී ගෙවන්නේ බදු ආදායම් යොදවමිනි. මේ බදු බොහොමයක් වක්‍ර බදුය. මුදලාලිලා වී සමාජයේ පහළ ස්ථර වල අයව සූරා කන්නට අකැමැතියයි කියන බොහෝ වෘත්තිකයින් විසින් ඔවුන් සතු ප්‍රාග්ධනය යොදවන්නේ රජය හරහා මේ පහළ ස්ථර වල පිරිස් සූරාකෑමටය. ඒ නිසා, බැලූ බැල්මටම රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් ලෙස නොපෙනෙන තවත් බොහෝ දෙනෙක්ද ඒ යාන්ත්‍රණයේම දැති රෝදයි. ලංකාවේ රජය කුඩා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලට මෙවැනි අයගෙන්ද ප්‍රතිරෝධයක් ඇති වන්නේ ඒ නිසාය.

ලංකාවේ ප්‍රමුඛ මතවාදය තුළ සමාජවාදී අදහස් වල බලපෑම කෙතෙක් වුවත් වෙළඳපොළ යාන්ත්‍රණය සෑහෙන තරමකින් ක්‍රියාත්මක වන නිසා ආර්ථිකය දිගින් දිගටම ප්‍රගතියක් අත්කර ගන්නා නමුත් රටට මීට වඩා වේගවත් පිම්මක් පනින්නටනම් කුසලතාවයක් හා ප්‍රාග්ධනය ඇති පිරිස් "මුදලාලිලා වෙන්නට" බය නොවන ආකල්පමය වෙනසක් අවශ්‍යය.

Sunday, February 4, 2018

රෝඩ් රනර් ෂෝ


පසුගිය ලිපියෙන් විල් ඊ කයෝට් ගැනත් එම චරිතය හමුවන රෝඩ් රනර් කාටූන් මාලාව ගැනත් කතා කළෙමු. මේ කාටූන් මාලාව ඇමරිකාවේ වුවත් වත්මන් පරපුරට අපේ සමකාලීන පරපුරට තරම් සමීප නැත.

ඉගෙන ගන්නා කෙනෙකුට ඉගෙනගන්නවානම් ඔය කාටුන් එකේ වුනත් ඕනෑ තරම් දේවල් තිබේ. උදාහරණයක් ලෙස ලොකු පල්ලමකට වැටෙන්නට යන විල් ඊ කයෝට් මත ගුරුත්වාකර්ෂණය බලපාන්නට පටන් ගන්නේ බිම බැලීමෙන් පසුවය. මේ ඔස්සේ හිතනවානම් ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය ගැන වඩා හොඳින් තේරුම් ගන්නට බැරිකමක් නැත.

මෙහි ප්‍රධාන චරිත දෙකෙන් එකක් වන කයෝට් කයෝටියෙකු වුවත් හැසිරෙන්නේ හා ක්‍රියා කරන්නේ මිනිසෙකු ලෙසින්ය. කයෝට්ට මිනිසෙකු මෙන් සැලසුම් හදන්නට මෙන්ම ඒ සැලසුම් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන ඩයිනමයිට් ආදී සංකීර්ණ ද්‍රව්‍ය හොයා ගන්නට බැරිකමක් නැත. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේ නිරිතදිග පෙදෙස් වල හා මෙක්සිකෝවේ දැකිය හැකි වටුවෙක් වැනි කුඩා පක්ෂියෙක් වන රෝඩ් රනර් කෙනෙකු දඩයම් කිරීමට ඇති සහජ කැමැත්ත ප්‍රදර්ශනය කරමින් කයෝට් කයෝටියෙකු ලෙසද හැසිරේ.

විල් ඊ කයෝට් ජීවිතයම කැප කර තිබෙන්නේ රෝඩ් රනර්ව අල්ලා ගැනීමටය. ඔහුගේ සැලසුම් හැම එකක්ම එකින් එක ඔහුටම පාරාවළල්ලක් වුවත් කයෝට් වැඩේ අතාරින්නේ නැත. එහෙත්, රෝඩ් රනර් අල්ලගත්තා කියා ඔහුට වේලක කෑම ලැබෙනවාට වඩා ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. මේ රෝඩ් රනර් කාටූනයකට යටින් කමෙන්ටුවක් දමමින් එක් අයෙක් අසා තිබුණේ මේ තරම් සැලසුම් කිරීමේ හැකියාවක් ඇති, මේ තරම් උපකරණ සපයාගත හැකි කයෝට්ට කඩේට ගොස් මස් මිල දී ගන්නට බැරි ඇයිද කියාය.

මෙහි පළ වූ පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඇණයා විසින් මෙසේ ලියා තිබුණේය.

"අතේ මුදල් ගැවසෙනවනම් මස් කෑමට සතකු මරා හැකියාව තිබුනත් කඩෙන් මස් මිලදී ගැනීමට ඇති ඉඩ වැඩි, අසීරුවෙන් ජිවත් වූ ගැටවර කාලේ අපි ගෙදර ඇති කළ කුකුලුන් මැරුව, ඒ වගේම අසල ගැවසුණු තලගොයින් සහ වලිකුකුලුන් දඩයම් කර තියෙනවා, ගමේ මන්දපෝෂණය සුලබ වූ එකල ළමුන්ගේ පෝෂණයට සහ බුද්ධි වර්ධනයට මස් මාළු කිරි බිත්තර අවශ්‍ය බව අම්ම නිතර කිවා වගේම මස් සපයා ගැනීම දිරිමත් කළා, එකම තහංචිය වුනේ පෝයදාට එසේ නොකිරීමයි. දැන් තඩි තලගොයෙක් මහගෙදර බිත්ති උඩ වාසය කරනවා, වත්තේ ලොකු තලගොයි කීපදෙනෙක්ම යහතින් ඉන්නවා, කුකුල්ලු කිරි හරක් ඇති කරන්න කිසි උනන්දුවක් නෑ, අම්ම සතියට වරක් පොලේ ගිහින් එනකොට කුකුල් මස් ගෙනවා.

දැන් ව්‍යාපාරයක් වශයෙන් සතුන් ඇති කරන අය හැර වෙනත් සතුන් මරණ අය ලංකාවේ නැති තරම්, මම මෑතකදී රක්ෂිතයක් ආශ්‍රිතව සමීක්ෂණයකට සම්බන්ද වුණා,එහි ප්‍රසිද්ධ දඩයම් කරුවන් සියල්ල හමුවුනා, ඔවුන් සතු හොර තුවක්කු තවම තිබුනත්, පෙරට වඩා වන සතුන් බහුල වුනත් දැන් ඔවුන් කිසිවෙකුත් දඩයම් කරන්නේ නෑ, ඔවුන්ට මස් ඕන වුනොත් කඩෙන් කුකුල් මස් ගෙනව, වාරයට මීපැණි රැස් කිරීමේ පමණක් කරනවා, පෙරට වඩා වැඩි ආගමික නැබුරුවක් ඇතිවීම එයට ප්‍රමුක හේතුව බව ඔවුන් කීවත්, වයසට යෑම නිසා අසනීප වීම, රැකියාවේ නියුත් දරුවන්ගෙන් වියදමට මුදල් ලැබීම, උත්සව සඳහා දඩමස් ඇනවුම් නොලැබීම, දඩයමක් කලොත් ගමේ ගම් බට්ටෝ හරහා පොලිසිය ඒ දඩයම ඩැහැ ගැනීම, දඩයමට දක්ෂ තරුණයන් බිහි නොවීම වැනි කරුනුත් හේතුවන බව පෙනී ගියා."

ඔහු ඉදිරිපත් කරන අදහස් සමඟ මට මුළුමනින්ම වාගේ එකඟ විය හැකිය. මේ කරුණු සියල්ල සාරාංශ කරනවානම් දැන් ලංකාවේ බොහෝ දෙනෙකුට සතෙකු දඩයම් කර මරා ගැනීමේ ආවස්ථික පිරිවැය කඩෙන් මස් ගන්නවාට වඩා සාපේක්ෂව වැඩිය. ඒ නිසා, දඩයම් කරනවාට වඩා කඩෙන් මස් කන එක වාසිදායකය.

අපේ ගෙවල් අවට කයෝටියෙකු සිටිනු තවමත් කිසි දිනක මා දැක නැතත් හාවුන්, මුවන් වැනි වෙනත් සතුන්නම් ඕනෑ තරම් දකින්නට පුළුවන. එහෙත්, රටේ සිටින මිනිසුන් ගණනට වඩා වැඩි පෞද්ගලික ගිණි අවි ප්‍රමාණයක් තිබෙන ඇමරිකාවේදී උත්සවයකදී හැර වෙනත් අවස්ථාවකදී ගිණි අවියක් පත්තුවෙනු මට කිසිදිනක දකින්නට හෝ අසන්නට ලැබී නැත. පාරේ කිසියම් සතෙකු සිටින විට ඒ සතා ඉවත්ව යන තුරු ඉවසිල්ලෙන් වාහන නවත්වාගෙන සිටින පිරිස්නම් නිතර දකින්නට ලැබේ.

ඇමරිකානුවන් සතුන් කෙරෙහි මේ තරම් අනුකම්පා සහගත වී සිටින්නේ ඔවුන් මිනිසුන් ලෙස ලාංකිකයින්ට වඩා සුවිශේෂී වන නිසා නොවේ. ඇමරිකානුවන්ට විල් ඊ කයෝට් මෙන් රෝඩ් රනර් කෙනෙකු පස්සේ පැන්නුවේ නැති වුනාට අඩු මිලට තමන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නට හැකියාව තිබෙන නිසාය. ලාංකිකයින් දැන් දඩයම් කරන්නට අඩුවෙන් පෙළඹෙන්නේද මේ හේතුවම නිසාය.

ආර්ථික තත්ත්වය ඉහළ යන විට මිනිසුන්ගේ චර්යාවන්ද වෙනස් වේ. වෙනත් මිනිසුන්, සතුන් හෝ පරිසරය ගැන හිතන්නට මිනිසෙකුට අවකාශ සැලසෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා වැඩි අපහසුවකින් තොරව සැපිරෙන තරමටය.

ඉහත කරුණ දකින්නට ලැබෙන්නේ සතුන් මැරීම හා අදාළව පමණක් නොවේ.

අප කුඩා කාලයේදී ගම් වල කෙහෙල් කැනක් හෝ පොල් ගෙඩියක් හොරුන්ගෙන් පරිස්සම් කර ගැනීම ඉතා අසීරු කරුණක් විය. සාමාන්‍යයෙන් ගමක හොරෙක් ලෙස සැලකුණේ අනුන්ගේ වත්තකට හොරෙන් රිංගා තැඹිලි වල්ලක් බා ගන්නා හෝ කෙහෙල් කැනක් කපා ගන්නා ආකාරයේ සිල්ලර හොරුන්ය. ලොකු හොරකම් කෙසේ වෙතත්, මෙවැනි සිල්ලර හොරුන් දැන් දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. මෙහි තිබෙන්නේද සමාජය වඩා සදාචාරාත්මක හෝ ආගමික වීමකට වඩා ආදායම් මට්ටම් ඉහළ යාම නිසා මෙවැනි සුළු හොරකමක් කිරීමේ ආවස්ථික පිරිවැය ඉහළ යාමයි. තාර්කික ලෙස හිතන මිනිසෙකු සතෙක් මරන්නේ හෝ හොරකමක් කරන්නේ එයින් ලැබෙන වාසිය ආවස්ථික පිරිවැය ඉක්මවන්නේනම් පමණි.

කෙසේවුවත්, මෙවැනි චර්යාවන් මුළුමනින්ම ආර්ථික කරුණු වලට ලඝු කරන්නට නොහැකිය. මෙවැනි දේ පිටුපස ජීවවිද්‍යාත්මක හා සංස්කෘතික පසුබිම්ද තිබේ. ඇමරිකානුවන් පවුල් පිටින් මාළු අල්ලන්නට යන්නේ අඩුමිලට සුපිරි වෙළඳසැලකින් මාළු මිලදී ගන්නට නොහැකි නිසා නොවේ. මාළු ඇල්ලීමේ ක්‍රියාවලිය තුළ ඔවුන්ට ලැබෙන තෘප්තිය නිසාය.

වීල් ඊ කයෝට් වෙත නැවත පැමිණියහොත්, අයෙක් කමෙන්ටුවකින් අසා තිබුණු පරිදි, මේ තරම් සැලසුම් කිරීමේ හැකියාවක් ඇති, මේ තරම් උපකරණ සපයාගත හැකි කයෝට්ට කඩේට ගොස් මස් මිල දී ගන්නට බැරි ඇයි?

කයෝට්ගේ ආතල් එක තිබෙන්නේ රෝඩ් රනර්ව අල්ලා හම ගසා කෑලි වලට කපා ගිල දැමීම තුළ නොවේ. එසේ කිරීම ගැන සිහින මවමින් රෝඩ් රනර්ව අල්ලා ගැනීමට දරන උත්සාහය තුළය. රෝඩ් රනර්ව අල්ලාගෙන ආහාරයට ගත් දවසට මේ ආතල් එක අවසන් වේ.

කයෝට්ගේ ආතල් එක පමණක් නොව කයෝට් පෙනී සිටින රෝඩ් රනර් ෂෝ එක නරඹන අයගේ ආතල් එක තියෙන්නේද රෝඩ් රනර්ව අල්ලා ගන්නට කයෝට් විසින් හැමදාමත් දඟලන දැඟලිල්ලේ හා දොඩන වහසිබස් වලය. කොයි තරම් දැඟලුවත් අන්තිමට රෝඩ් රනර්ව අල්ලාගත් පසු කයෝට්ට ලැබෙන්නේ මස් කලං කිහිපයක් පමණි. ඒ මස් ටික කයෝට් විසින් ගිල දමන ජවනිකාවේ බලා සිටින්නට තරම් ආතල් එකක් නැත. ඉන් පසුව, කොහොමටත් බලා සිටින්නට දෙයක් නැත.

රෝඩ් රනර් ෂෝ එක නරඹන්නට පිරිස් සිටින තුරු කයෝට්ට රෝඩ් රනර් ෂෝ එක දිගටම පෙන්වන්නට පුළුවන. එවැනි නරඹන්නන් නැතත් ඒ ෂෝ එකම පෙන්වමින් සිටිනවා හැර කයෝට්ට වෙන කරන්න දෙයක්ද නැත.

Saturday, February 3, 2018

විල් ඊ කයෝට්


ඇමරිකාවේ නිවාස හිමියන්ගේ සංගම් ගැන මා මීට පෙර ලියා තිබේ. අපේ නිවාස හිමියන්ගේ සංගමයට වත්පොත් පිටුවක් තිබේ. සංගමයේ නිලධාරීන් විසින් පරිපාලනය කෙරෙන මේ පිටුවේ පළවන්නේ සංගමයට අදාළ නිල තොරතුරු පමණක් නොවේ. නිවාස හිමියන්ට අදාළ බොහෝ දේවල් මේ වත්පොත් පිටුව හරහා ඔවුන් විසින් නිවේදනය කෙරේ. නැත්නම් සාකච්ඡා කෙරේ. එසේ වුවත්, දේශපාලන හෝ මතවාදීමය කරුණු අඩංගු පෝස්ට් ශෙයා කිරීමක්නම් සිදුවන්නේ නැත. පහතින් ඇත්තේ එහි සාමාන්‍යයෙන් පළවන දේවල්ය.

"අපේ පූසා අතුරුදහන්. මෙහි තිබෙන්නේ උගේ ඡායාරූපයක්. කරුණාකර දැක්කොත් කියන්න!"

"අපි දෙසතියක නිවාඩුවකට වෙනත් ප්‍රාන්තයකට යනවා. ඒ අතර අපේ තණකොළ කපන්න කැමති කෙනෙක් ඉන්නවානම් ඩොලර් xxක් ගෙවන්න කැමතියි!"

"අපේ 16 හැවිරිදි දුව (ග්‍රීෂ්ම නිවාඩු කාලයේ) අර්ධකාලීන රැකියාවක් ලෙස දරුවන් බලාගන්න කැමතියි. අවශ්‍යනම් සම්බන්ධ වන්න."

"අපේ අන්තර්ජාල සම්බන්ධතාව අද හරියට වැඩ කරන්නේ නැහැ. මෙය වෙනත් අයටත් තිබෙන ප්‍රශ්නයක්ද?"

"අපට අනවශ්‍ය ගෘහ භාණ්ඩ ටිකක් තිබෙනවා. මේ තිබෙන්නේ ඡායාරූප. නොමිලේ දෙන්න කැමතියි. අවශ්‍ය කෙනෙක් ඉන්නවාද? මුලින්ම ඉල්ලන කෙනාට දෙනවා."

මාස කිහිපයකට පෙර අපේ එක් අසල්වැසියෙකු විසින් පළකර තිබුණේ මේ සාම්ප්‍රදායික රාමුවෙන් තරමක් වෙනස් නිවේදනයකි.

"අද උදේ පහට පමණ අපේ පාරට හැරෙන හන්දියේ කයෝටියෙක් ඉන්නවා දැක්කා."

අපේ ගෙවල් ආසන්න ස්වභාවික රක්ෂිතයේ කයෝටියන් සැරිසරන බව මම ඒ වන විටද දැන සිටියෙමි.

මේ නිවේදනය පළවන්නට මාස කිහිපයකට පෙර මම මගේ දරුවෙකු සමඟ එම ස්වභාවික රක්ෂිතයේ ඇවිදින්නට ගියෙමි. අප ගමන් කළ මාර්ගය වැටී තිබුණේ දොළ පාරක් අයිනෙනි. ඇතැම් තැන් වලදී එම දොළ පහරට එකතුවන කුඩා දිය පාරවල් හරහා මේ මාර්ගය වැටී තිබුණු අතර එවැනි තැන් වල පස තරමක් මඩ වී තිබුණේය.

මෙවැනි එක් තැනෙක අපට දකින්නට ලැබුණේ බල්ලකුගේ වැනි අඩි සටහන් රැසකි.

"මේ හරියේ කයෝටි ඉඳල තියෙනවා. මේ තියෙන්නේ කයෝටියන්ගේ අඩි සලකුණු!"

මගේ දරුවා එකවරම කිවුවත් මටනම් ඒ අඩි සලකුණු බල්ලෙකුගේ අඩි සලකුණු වලින් වෙන් කර හඳුනාගන්නට නුපුළුවන් විය. මගේ අදහස වුනෙ කිසියම් අයෙකු බල්ලෙකු සමඟ ඇවිදින්නට එන්නට ඇති බවයි.

"නෑ, මේ අඩි සලකුණුනම් කයෝටියෙකුගෙමයි. බල්ලෙකුගේ වෙන්න බැහැ. මේ හරියේ කයෝටියෝ ඉන්නවා."

ඔහු එසේ කිවුවේ කෙසේදැයි මා දන්නේ නැත. කොහොමවුවත් මෙවැනි දේ ගැන ඔහුගේ දැනුමට අලගු තියන්නටවත් මට නුපුළුවන. නිවසට පැමිණීමෙන් පසුව අන්තර්ජාලය පිරික්සා දැන ගත හැකි වූයේ දරුවා කියූ පරිදිම ඒ ස්වභාවික රක්ෂිත පෙදෙසේ කයෝටියන් සැරිසරන බවයි.

කයෝටියා උතුරු ඇමරිකාවට ආවේණික සුනඛ වර්ගයේ සතෙකි. කිලෝග්‍රෑම් 20ක් පමණ දක්වා වැඩෙන අළු පැහැ ලොම් ඇති නරියෙකු වැනි සතෙකි. බොහෝ විට හාවුන්, මීයන් හා උරගයින් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා නමුත් කණ්ඩායම් ලෙස මුවන් වැනි ලොකු සතුන්ද දඩයම් කරයි. සාමාන්‍යයෙන් මිනිසෙකු දුටු විට මඟ හැර යන නිසා අවදානමක් නැතත් සුරතලට ඇති කරන පූසන් හා කුඩා බල්ලන් ආහාරයට ගන්නට ඉඩ තිබේ.

කයෝටියා හඳුන්වා දෙන්නට මීට වඩා පහසු ක්‍රමයක් තිබේ. පිහියක් හා ගෑරුප්පුවක් අතින් ගෙන රෝඩ් රනර් පසුපස හැමදාමත් එළවන රෝඩ් රනර් ෂෝ කාටුන් මාලාවේ විල් ඊ කයෝට් කියන්නේ කයෝටියෙකි.

පහතින් ඇත්තේ එම කාටූන් මාලාවේ අලුත්ම කොටසකි. මේ කාටූන් නරඹන විට මොට්ට කඩුවක් අතින් ගෙන අගමැති කෙනෙකු පසුපස එළවන ජනාධිපති කෙනෙකු වැනි වෙනත් කරුණක් ඔළුවට ආවොත් එය රස වින්දනයට බාධාවක් විය හැකිය.


Friday, February 2, 2018

ග්‍රවුන්ඩ්හොග්ගේ කාලගුණ අනාවැකි


අද (පෙබරවාරි 2) උතුරු ඇමරිකාවේ ග්‍රවුන්ඩ්හොග් දිනයයි. ග්‍රවුන්ඩ්හොග් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේදී හා කැනඩාවේදී දැකිය හැකි තරමක් විශාල බිම් ලේනුන් වර්ගයකි.

ජනප්‍රවාදය අනුව, ග්‍රවුන්ඩ්හොග් දිනයේදී ග්‍රවුන්ඩ්හොග් ශිශිර නිද්‍රාවෙන් අවදි වී උගේ ගුලෙන් එළියට පැමිණේ. එසේ පැමිණි විට වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් සහිත කාලගුණයක් තිබී ඌට උගේ හෙවනැල්ල දකින්නට ලැබුණොත් ග්‍රවුන්ඩ්හොග් නැවතත් උගේ ගුලට රිංගයි. එසේ වුවහොත් තවත් සති හයක් යන තුරු ශීත කාලය අවසන් නොවේ.

යම් හෙයකින් ග්‍රවුන්ඩ්හොග් දිනයේදී අහස වලාකුළු වලින් බරව තිබීම නිසා ග්‍රවුන්ඩ්හොග්ට උගේ හෙවනැල්ල නොපෙණුනොත් ඌ එසේ ආපසු ගුලට රිංගන්නේ නැත. එසේ වන අවුරුදු වලදී, ශීත කාලය ඉක්මණින් අවසන් වී වසන්ත කාලය කලින්ම පැමිණේ.

ග්‍රවුන්ඩ්හොග්ව පැත්තකින් තිබ්බොත් මේ ප්‍රවාදය අනුව පෙබරවාරි දෙවෙනිදා අහස දෙස බලා ඉදිරියේ එළඹෙන වසන්ත කාලය ගැන අදහසක් ගන්නට පුළුවන.

ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය ජර්මානු සංක්‍රමණිකයින් විසින් ඇමරිකාවට රැගෙන ආ එකකි. ජර්මන් ප්‍රවාදයේ සිටි බැජර් වෙනුවට උතුරු ඇමරිකාවේදී ග්‍රවුන්ඩ්හොග් ආදේශ වී ඇත.

ඇතැම් විශ්ලේෂකයින් විසින් කාලගුණ දත්ත ඇසුරෙන් ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ අනුව පෙනී ගොස් ඇත්තේ ග්‍රවුන්ඩ්හොග්ගේ කාලගුණ අනාවැකිය නිවැරදි වීමේ සම්භාවිතාව 50%කටත් වඩා අඩු බවයි. වෙනත් අයුරකින් කියනවානම් අහඹු අනාවැකියක් නිවැරදි වන්නට මීට වඩා සම්භාවිතාවක් ඇති බවයි. කෙසේවුවත්, ග්‍රවුන්ඩ්හොග් ප්‍රවාදය උතුරු ඇමරිකානුවන් අතර ජනප්‍රිය එකකි.

කාලගුණ අනාවැකි කීම පහසු කටයුත්තක් නොවේ. මෙවර ලංකාවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ගැන අනාවැකි කීමද වෙනදාට වඩා අසීරු කටයුත්තක් බව පෙනේ. සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණයක් ආසන්න වෙද්දී බර කර අනාවැකි කියන අනාවැකිකරුවන් බොහෝ දෙනෙකුගෙන් මෙවර ලොකු සද්දයක් ඇහෙන්නේ නැත.

(Image: https://kids.nationalgeographic.com/animals/groundhog/#groundhog-with-babies.jpg)
There was an error in this gadget